Sunday, September 6, 2009

එදා ඇය සමග සිනමා ශාලාවේදී ලයිට් නිවනකල් බලා සිටි මම.


මගේ භාර්යාව සහ මා විවහ ජීවිතයට ඈතැළු වූයේ එකම දවසේය. අප දෙදෙනා කසාද බැඳ අදට හරියට අවුරුදු හතකි.ළදරුවන් පළමුව දණගා දෙවනව පා තබන්නාක් මෙන් අපි දෙදෙනා පළමුව ආදරය ඉදිරියේ දණගසා දෙවනුව විවාහ ජීවිතයට පා තැබුවෙමි. දණගෑමට පෙර බඩගාන දරුවෙකු මෙන් විවාහයට පෙර මාද ඇගේ නිවසට බඩගෑ වාර අනන්තය. එහෙත් ඇය කැන්දාගෙන ආපසු ඇගේ මව මා දිහා බලන්නේ වත් නැත අපේ අම්මා ඇය දෙස බලන්නේවත් නැත.එදා ප්‍රේමසහරාවේ මංමුළා වී සිටි අපි දෙදෙනා දැන් විවාහය නැමති ක්ෂේමභුමිය අතහැර යාමට නොහැකිව දුක් වෙමු.

අපි දෙදෙනා ප්‍රේමයේ මල් පල නෙළුවෙමු. එයින් තුන්දෙනකු කොල්ලන් වන අතර හතර දෙනකු කෙල්ලන් වීමට තරම් අපේ විවාහය සාර්ථක විය.මා මේ ලිපිය ලියන අවස්ථාවේ ලොකුම එකා දොරට තට්ටු කරමින් සිංදුවක් ගායනා කරයි. දෙවැනි එකා මා ලියන දෙයට හොට දමයි තුන්වෙනි එකී හොටු පෙරාගෙන අඩන්නීය.හතරවන එකී අපෙ මහ එකීගේ රෙද්දක් ඇදීමට උත්සාහ කරයි. පස්වැනි එකා හයවෙනි එකීගේ පිට උඩ අලියා යන අතර ඒකී නලාවක් පිඹීමින් ගේ හැමතැනම සංචාරය කරන්නීය.

හත්වැනී එකී නින්දෙන් අවදිවී කිරි ඉල්ලා අඩන අතර මගේ භාර්යාව ටොක ටොකගා පිටිකිරි හදන්නීය.ටොමියා කාටදෝ බුරයි. බළල් තඩියා මගේ කකුලේ ඇතිල්ලෙමින් "ඤාව් ඤාව්" ගායි. "සීනි ඉවරයි තේ කොළ ඉවරයි. පොල් නෑ මිරිස් නෑ ගෑස් නැතුව කොහොමද රෑට උයන්නේ" කුස්සියෙන් ඇසෙයි. "උළුකැටයක් පාත්වෙලා ගේ ඔක්කොම තෙමෙනවා මගේ කරාබුවේ ගලක් වැටිලා මං කොහොමද අදින්නේ" කුස්සියෙන් ඇසෙයි. ගෙදෙට්ටම වෙලා ඉන්නේ කඩෙ ගිහින් අඩුපාඩු ටික ගේන්නේ කවද්ද? මේ මිනිහා මොකෙක්ද මං දන්නේ නෑ…. කුස්සියෙන් ප්‍රශ්ණයක් නැඟෙයි. මම ලියන එක පැත්තක දමා එළියට ගොස් තාප්පයට හේත්තු වී කල්පනා කරන්නට වීමි.

කාලයාගේ ඇවෑමෙන් මගේ ජීවිතය හා තත්වය කොතෙක් දුරට වෙනස් වී ඇද්ද? එදා ගී කියමින් පෙම් සයුර කැළඹූ ඈ දැන් මට දොස් තබමින් ලුනු පොල්කට්ට කලතයි.එදා මගේ අත ගෙන සෙමින් සිපගෙන "අනේ සුදෝ මම ආදරේ" යයි කී ඇය අද මගේ පසුම්බිය දිගහැර හොරෙන් මුදල් ගෙන "මං නොවේ" යයි කියයි. එදා රත්තරං වස්තුව සහ බබෝ ආදි ආදර වචන වලින් මට සංග්‍රහ කළ ඇය දැන් මට කියන්නේ 'කොල්ලාගේ අප්පච්චී' 'මහ මිනිහා' සහ 'ඇහුණද' කීයාය

ඒ දවස්වල මා ඇය බැලීමට ගියේ චොක්ලට් හා කේක් අතේ ඇතිවය. අද මා ගෙදර එන්නේ කොකනට් හා පාන් අතේ ඇතිවය. ඒ දවස්වල මා වැරදීමකින් හෝ ඇය ගේ කකුල පෑගූ විට නෙත් අඩවන් කර කට කොණකින් සිනාසී මා තමා ළගට ඇදගත් ඈ අද මා වැරදීමකින් හෝ ඇයගේ කකුල පෑගු විට ' මේ මිනිහගේ ඇස් පොට්ට වෙලාද මන්ද? හෝ 'මෙතැන මන මාලකං කරන්න එනවද? හෝ කියාගෙන රවා බලමින් මා තල්ලුකර දමන්නීය.




එදා අප දෙදෙනා ගොඩ නැගු ප්‍රේම මන්දිරයේ දැන් අප දෙදෙනාටම ඉඩක් නැත. එහි දුව පැන සෙල්ලම් කරන්නේ අපේ දරුවන්ය. අප දෙදෙනා ගේ ප්‍රේම රාජ්‍යය දැන් ඒ දරු හමුදාව අතේය. එදා ප්‍රේම ගඟේ හැප්පි ගලා ආ ඒ ප්‍රේම ගීත වෙනුවට දැන් ජනප්‍රිය වී ඇත්තේ දරු නැළවිලි ගීතය. පොඩි එවුන් අපේ ප්‍රේම හතේ ටියුන් බස්සවා ඇත.

එදා අපි දෙදෙනා ප්‍රේම ලෝකයේ තනිවි පෙම් රැගුම් පෑවෙමු අද ඒවාට ඉඩක් නැත්තේ පොඩි එවුන් බලා සිටින නිසාය. පෙම් කරන දවස්වල නිකං සිටීමට බැරි නිසා අපි කාලය ගතකළේ මුහුදු වෙරළ,මල්වත්ත,ගං ඉවුර දිය ඇල්ල අසල. සත්වෝද්‍යනය සිනමා පෝලිම සහ පූජනීය ස්ථාන ආදී විනෝදය ගෙන දෙන තැන්වලය.අද අපට නොගිහින්ම බැරිව ඇත්තේ ඩිස්පැන්සරිය ඉස්කෝලය ජාතික පොල මාළු කඩය සහ උකස්බඩු ගන්නා තැන් ආදි සසර කෙටි කරන ස්ථාන වලටය.
අනේ ඔයා සුදු , රත්තරන් නිකං ඉන්නකෝ චී ඔයා හරි නරකයි,මං තරහයි, එපා දැක්කද, නෑ අනේ මං බොරුවට එහෙම කිව්වෙ අප්පේ තියෙන ආඩම්බරේ, අත ගන්නකො කමක් නෑ ඉතිං මට මොකෝ, මං ආසයි අයියෝ අපරාදෙනේ මට දුකයි ඔයා මහන්සි වෙනවට ආ, මේ, ආඳි වශයෙන් එදා ඇසුණු පෙම් වදන් වෙනුවට අද ඇසෙන්නේ අපච්චී මෙන්න මල්ලි ගහනව.ඇද්ද,ඌයි..යකෝ,හිටපන්,තොට කෝ මගේ පැන්සල ඇක්සැයිස් පොත මකන කෑල්ල මෙන්න නංගි චූකරා අන්න අතන කක්කිකරලා දෙයියෝ සාක්කි මං මැරෙයි, මේ හැතිකරේ මට යන්න තැනක් නැහැනේ, නෝදකින්! ආදී වශයෙන් තොරතෝංචියක් නැතිව ඇසෙන කන්දොස් කිරියාවය.

එදා ලියුම් වලට මුද්දර ඇලවූ මම දැන් කලිසමේ පැච් අලවමි. ඇය සමග සිනමා ශාලාවේදී ලයිට් නිවනකල් බලා සිටි මම දැන් ලයිට් බිල ගෙවමි. ප්‍රේම ලොවේ මාලිගා සැදු මම දැන් ගෙවල් කුලී ගෙවමි ලව් කළ මං දැන් පව් ගෙවමි පෙම් හසුන් ලියු පෑනින් මගේ දුක ලියමි.