Wednesday, September 23, 2009

මා අද තනිකර පුහු මිනිසෙක් විය ලෝකය හමුවෙහි නැති තත්තේ


බලාපොරොත්තුවෙ සිතුවිලි වැල් සුරතලයෙන් එහෙ මෙහෙ පැන යද්දී

අලුත් ලෝකයක ඉරියව් අතරේ මගෙ පරිසරය ම නැළැවෙද්දී

දෙහදක් අතරේ ගොඩ නැගූණු අදහස් මන්දිරයක් මෙන් බැබළෙද්දී

සැකයක් දුටුවෙමි ඔබ හිනැහෙන විට අදහා ගනු බැරි ලෙස සිද්දී




කොතැනක සිට මේ සැකයට තුඩු දෙන දේවල් ආවද නැත දන්නේ

නොපුරුදු නොම දුටු තැන්වල වෙහෙසව සොයමින් අද මා ළත වන්නේ

පලක් වේද එනමුත් නොම දන්නෙමි ලෝකය නැත තව අඳු නන්නේ

උපදින සිතුවිලි තිඹිරි ගෙයි ම මිය යන්නට එහෙයිනි සැර සෙන්නේ




මෙතුවක් කල් මා ඉපැයූ වස්තුව පොදි බැඳ ගෙන මේ මග ආවේ

එය දැන් කොතැනක තැබුවද නොදනිමි මතකය වෙත තාමත් නාවේ

බලාපොරොත්තුවෙ සිතුවිලි මෙතනින් අහවර වී යන බව සීවේ

සැකය ඔබගෙ හෙළු බැල්මෙහි කැටිවුණ මගෙ දෙනුවන අඩපණ වූවේ



සිනාවෙන්න මට නැහැ කිසි බලයක් කඳුළු කැටයි ජය අර ගත්තේ

කාලයෙ වැලි කඳු අවහිර කරමින් තව තව උස් වෙයි හැම පැත්තේ

මා අද තනිකර පුහු මිනිසෙක් විය ලෝකය හමුවෙහි නැති තත්තේ

වස්තුව මා සතු ඇස් බැන්දුමකින් වාගෙයි ඔබ අරගෙන ඇත්තේ