Friday, September 11, 2009

'' මම දැන් හෙළුව රැකගෙන බස්වහර සකසමි’'


මාගේ පසුගිය එදා ඇය සමග සිනමා ශාලාවේදී ලයිට් නිවනකල් බලා සිටි මම. ලිපිය පිළිබඳ බෝහෝදනා අදහස් දැක්වු අතර කිහිප දෙනෙක් ඊ මේල් මගින් දන්වා තිබුණේ මා සම්මත සිංහල නීතිය උල්ලංඝණය කර ඇති බවය. සම්මත සිංහල නීතිය ක්‍රියාවේ යෙදවීමට අල්ලා ගත හැකි එකම සුදුස්සිය ලෙස මට පෙණුණේ සිංහල භාෂාව පිළිබඳ බි ඒ ගෞරව උපාධියක් ලබාගෙන සිටින අපේ ආච්චීය. පසුගිය අමිහිරි සිදු වීමක් නිසා ඉන් පසු කිසිම දවසක ඈය හමු නොවීමට මා සිතාගෙන සිටි නමුත් මෙම හේතුව නිසා මම යළිදු ඇය හමුවීමට ගියෙමි.

ස්වාභාවික සැකයෙන් හා ආරූඪ කර ගත් සිනහවෙන් යුතුව ඔතොමෝ මා පිළි ගත්තේය.

'උඹට පුතේ තවම රස්සාවක් හම්බු උනේ නැද්ද'

'රැකියාවකින් කවර සැපතක් ලැබේද' මම දැන් හෙළුව රැකගෙන බස්වහර සකසමි’

'ඇයි පුතේ උඹ හෙළුවෙන් කීවේ ?

අදින්න ගන්නවත් නැද්ද ?

නැත මා ලියැනුයේ ද කියනුයේද හෙළුවෙන් පමණි.

'චී පුතේ හෙළුවෙන් ද'

'ඔව් හෙළුවෙන්. ඒ කියනුයේ හෙළ බසින්'

'උඹ ඉස්සර වගේ නොවේ පුතේ සිංහලෙන් කතා කරපන්කෝ'

'එබැවන් සන් සඳ ලිගු විබත් සමස් පියවි පස කිරිය ලොප දෙස් අගම් පෙර රෑ දෙරූ පෙරලි වැඩි අඩු නිපා නියම් අනියම් අවිදුමන් විදි වී විසි වෑදෑරුම් සපයා'

' පුතේ'

'ඔව්'

සම්මත හෙළ බසේ වියරණ රීති තොප දන්හුද. පණකූරු පසෙක් එදා ලුහුගුරු බෙයින් දස ගතකරුද වේ විස්සෙක්.වහරට යුහු සිය බස'

'අනේ අප්පෝ' 'යසට හිටිය අපේ කොල්ලට පෙරේතයෙක් ද කොහෙද වැහිලා
‘මොකක්දෝ බාසාවකින් කතා කරනවා යන්න ඕනා ගුරුන්නාන්සේට කියලා නූලක් මතුරවාගෙන එන්න’

ආච්චී මිදුලට බැස්සාය,

මට දෙලෝ රත්විය.

'නෑ නෑ ආච්චී මට හොඳයි කිසිම අමාරුවක් නෑ'

අන්න ඔහොම සිංහලෙන් කතා කරපන්කො'

ආච්චී නැවතුණාය.

'ආච්චී සිංහල දන්වද'

'උඹ මගෙන් අහන දෙයක්'

' නෑ ආච්චී මේ ඊයෙ පෙරේදා අලුතෙන් නීතියක් දාලා තියෙනවා සිංහලෙන් ලියන්න.
ඒ විදියට තමා අපි ලියන්න පුරුදු වෙන්න ඕනේ'

ඇයි බොලේ මෙච්චර කාලාන්තරයක් අපි ලිව්වේ සිංහලෙන් නෙමේයිද ?
“ සිංහලෙන් තමා නමුත් ආච්චී ”

අපෙ එක එක පණ්ඩිතයෝ තමන්ට හිතෙන හිතෙන හැටියට වරද්ද වරද්ද සිංහල ලියන්න පුරුදුවෙලා අපේ භාෂාව දැන් කැඳ හැලියක් වෙලයි තියෙන්නේ. ව්‍යාකරණයේ කිසිම පිළිවලක් නැහැ. වෙන භාෂාවල එක්තරා සම්මත ක්‍රමයකටයි ව්‍යාකරණ යොදන්නේ. ඉතින් අපේ භාෂාවේ එහෙම සම්මත ක්‍රමයක් නැති හින්දා දැන් ආණ්ඩුවෙන් ලෝ එකක් පාස් කරලා තියෙනවා මෙන්න මේ විදියට මිසක් වෙනවිදිහකට ලියන්න එපා කියලා.

එහෙම නොලීවොත් හිරේ යන්න වෙයිද පුතේ ?

“ නැත්තන් මොකටද නීතියක් හදලා තියෙන්නේ ’’

" අනේ පුතේ එහෙනං මටත් උගන්නපං ඔය සිංහල මොන සිංහලද පුතේ ඕවාට කියන්නේ "

" සම්මත සිංහල "
“ එහෙනං මං හිතන්නේ මේ මහා සම්මත රජ්ජුරු වන්ගෙ කාලේ සිංහල වෙන්න ඇති.

අනේ පුතේ උගන්නපං ”

“ මට බෑ ” මම ගණන් ඉස්සුවෙමි’’

“ උඹ කැමතිද පුතේ මේ නාකි ගෑණියක් හිරේට යනවට උඹටමනේ අවනම්ඹු අනේ රත්තරන් පුතේ මටත් උගන්නපන් ඔය සම්මත රජ්ජුරුවන් ගේ සිංහල ආච්චි මා ඉදිරියෙන් වාඩි වූවාය.මම ඇයට සිංහල ඉගැන්වීමට පටන් ගත්තෙමි.

පාලු අම්බලමේ වළං බිදීමට කවුද බය ?

“ ආච්චී කැමති මිශ්‍ර සිංහලටද අමු හෙළුවටද”




මිස්සර සිංහල හොදයි පුතේ ඉන්න මං එක උගන්වන්නම් අනේ පුතේ ප්‍රයෝග නං එපා

“ ආච්චි ස්වර ව්‍යංජන දන්නවද”

'ඔව් ඔව් මං කොච්චර වෑංජන උයල තියෙනවාද ලොකු හාමුදුරුවෝ අදත් මතක් කළා' පොළොස් ඇඹුල් වෑංජනේ හොඳට තිබුණ කියලා'

'එතකොට සන්ධි' '

‘ හන්දි වෙදකම උඹල සීයා නං හොදට දැනගෙන හිටියා'

' එතකොට ධාතු ප්‍රකෘති’

මගේ ඉසේ කෙස්ගානට මං ධාතු වන්දනාමාන කරලා තියෙනවා '

' මං ඇහුවේ සිංහල ශබ්ද වල නිධානය ' ' ඔව් ඉතිං ධාතු නිධන් කරල මිසක් තියන්න බෑනේ පුතේ '

' හොදයි ආච්චි දන්නවද ලිංග භේදය ගැන ''

ඔය කියන්නේ ඉස්පිරිතාලේ ගෑණු වාට්ටු පිරිමි වාට්ටු වෙන් කරල තියෙන එක නේද පුතේ '

' නෑ ආච්චි දැන් අපි කියමු මිනිහා ගස කපයි කියල අන්න එතන මිනිහා පුරුෂ ලිංගේ '
' ඔතන විතරක් නෙමේ පුතේ කොතනත් මිනිහා පුරුෂ ලිංගෙ තමා ' ආච්චි ලැජ්ඡාවෙන් යුතුව කීවාය. '

නෑ ආච්චි ව්‍යකරණවල තියෙනවා ලිංග තුනක් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නපුංසක ලිංග කියලා ' ' අනේ පුතේ ඔය ඕන නැති දෙවල් අදින්න එපා

නපුංසකයෝ ගැන මම අහලා නං තියනවා ඕවා බොරු වෙන්න ඇති ' ' හොදයි එහෙනං දැන් අපි වාක්‍යයක් අරගෙන බලමු ගැහැණිය සැමියාට බත් බෙදයි. මේක වර්තමාන ප්‍රථම පුරුෂ ක්‍රියාවකින් යුතු වාක්‍යයක්. ' ඒ කියන්නේ ගැහැණිය වර්තමාන ප්‍රථම පුරුෂයට බත් බෙදයි කියන එක නේද පුතේ '

'මම ඇයට සැළකුවෙමි කියන වාක්‍යය අතීත කාල උත්තම පුරුෂ එකක් '
' ඉස්සර කාලේ එහෙම උත්තම පුරුෂයෝ හිටිය ගෑණුන්ට හොදට සලකපු ඒ කට දැන් තුඃ නොදකින් එතකොට මේ වාක්‍යය අනාගත කාල උත්තම පුරුෂයට ගත්තාම
යෙදෙන්නේ මෙහෙමයි. මම ඇයට පහර දෙන්නෙමි '
චි පුතේ ඒක උත්තම පුරුසයෙකුගේ වැඩක් ද

මම කිව්වේ අනාගත කාලයේ අනාගතයට නෙවෙයි නොනගත කාලයටවත් ඕවා හොද නෑ පුතේ
එතකොට ආච්චී අකර්මක ක්‍රියා විශේෂයක් තියෙනවා ඔහු මිය යයි කියන එකට කර්මයක් නෑ ව්‍යාකරණ අනුව
එහෙනං පුතේ වියාකරණෙ බුද්ධ ධර්මෙටත් විරුද්ද දෙයක්නේ කරුමයක් නැත්තං මැරෙන්නේ කොහොමද
කර්මය යෙදෙනවා මේ හෙම තැන්වල මිනිහා ගැහැණිය මරයි
ඕව් එක නං ගෑණිගේ කරුමේ

පණ්ඩිතයා සිංහල භාෂාව මරයි කියන එක වර්තමාන කාලයට අයත් ක්‍රියාවක්
මං හිතන්නේ පුතේ ඒනම් කලියුග කාලයට අයිති වැඩක් කියලයි ඊලගට අපි ඒක වචන බහු වචන බලමු මම පොරොන්දු ඉටු කරමි කීවොත් ඒක වචන ඔව් මොනවා හරි එක වචනයක් තියන එක නේන්නං වැදගත් කම 'එතකොට ආච්චි බහු වචනයට අපි නිදර්ශනයක් අරන් බලමු ගොන්නු තණකති 'මොනවා' 'ගොනා තණ කයි ' කියන එක බහු වචනයට හැරෙව්වාම ගොන්නු තණ කති ආච්චී' 'නවත්තපං හරුප කියන්නේ නැතුව. තෝ මගේ වයස ගැනවත් බලලද ඔය ඕන නැති දේවල් කියන්නේ' ' මම කිවේ බහු වචනෙන් ගොනා ' ' නවත්වපිය තොගේ බහු වචන ගොනා ආච්චී එහෙනම් සම්මත සිංහල ඉගෙන ගෙන ඉවරයි '

තොගේ ඔය අසම්මත සිංහලේ නැතුවට මංදන්න සිංහලේ මට හොඳටම ඇති මං කියන එක තොට තේරෙනවා නං ඒක තමා බොල ව්‍යාකරණේ. මහා සම්මත රජ්ජුරුවන්ගේ
සිංහල උනත් මොටද බොල තොටයි මටයි තේරෙන්නේ නැත්තං'
'මේ ආච්චී මේ ආණ්ඩුවෙන් නියම කරපු සිංහල අපි ඒක ඉගෙන ගන්න ඕනෙ.
'හොඳයි බොල ඊළඟ සැරේ වෙන ආණ්ඩුවක් බලේට ආවොත් එතකොට තවත් අමුතු සිංහලයක් ඉගෙන ගන්නද තෝ මට කියන්නේ '
' ඒක මං දන්නේ නෑ '
'දන්නේ නැත්තං පල '
මම ආවෙමි.
නිවැරැදි කිරීමක්
1966 රිවිරැස පුවත් පතේ පලවූවක් බව තමා දැන ගන්න තියෙන්නේ ලියපු කෙනානම් හරියටම කියන්න දන්නැහ.