Friday, September 4, 2009

"සදාකාලික තරුණයා" නිරතුරුවම ලෝකය දෙස අලුතෙන් බැලීම



මැද වයසට හෝ මහලු වයසට හෝ පිවිසි අප සෑම දෙනාම එක් අවධියක දී තරුණ වයසෙහි සිටිය නමුත් අප ඉතා වැඩි දෙනකුට එම කාල පරිචේදය අමතක වී යාම අභාග්‍යයට කාරණයකි.ඊටත් වඩා අභාග්‍යය වන්නේ තරුණ වයසෙහි දී ලෝකය දෙස බැලු බලාපොරොත්තුවෙන්,අලුත් විදිහට, ලෝකය දෙස නැවතත් බැලීමට වයසට ගිය අය සම්පූණයෙන්ම වාගේ අපොහොසත් වී යාමය.තරුණයන් තේරුම් ගැනීමට වයස්ගත වූවන් අපොහොසත් වන්නේ මේ හේතුවෙන්ය.

තරුණයාගේ අදහස් අලුත්ය,බලාපොරොත්තු වලින් ඔහුගේ සිත පිරී ඇත, ඉක්මනින් තමාත් සමජයත් අමුතු තත්වයකට පැමිණවීමේ ආසාව ඔහු තුළ දැඩිය.ඔහුට මහලු තැනැත්තා පැරණි අදහස් බදාගෙන සිටින්නෙකි,අනාගතය ගැන බලාපොරොත්තු වීම වෙනුවට යටගිය දවස සිහි කරමින් ජීවත් වන්නේකි,ඉක්මනින් තීරණයක් ගෙන ක්‍රියා කිරීමට අකැමති එසේ නැත්නම් අපොහොසත් යල් පැනපු නිරර්ථක පුද්ගලයෙකි.

තරුණයා තුළ පවත්නා මෙම විශ්වාසය ද දැඩිය.විශ්වාසයෙහි පවත්නා ඒ දැඩිකමත්,ගැටළුවක් දෙස නිවිහැනේ බැලීමට ඉඩ නොදෙන ඉක්මනත් නිසා තරුණයෝ ද වයස්ගත වූවන් තේරුම් ගැනීමට අපොහොසත් වෙති.වයස්ගත වුවත් තරුණයින්ට වඩා කෛරාටිකයින් වීම මහලු පරම්පරාව කෙරෙහි තරුණයින් තුළ අවිශ්වාසය ඇති වීමට තවත් හේතුවකි.තරුණ මහලු විරෝධය පවතින්නේ මෙරට පමණක් නොවෙයි.වෙනත් සමහර රටවල මෙය උග්‍රව පවතින්නකි.

තරුණ අය සහ මහලු අය යයි දෙපැත්තකට අදින අලුත් කොටස් දෙකකට අද මනුෂ්‍ය වර්ගය බෙදී සිටියි මෙය මනුෂ්‍යගේ යහපත පිනිස සිදු වූවක් නොවේ. තරුණ කාලයෙහි ඇතිවන නිර්භිතකම, ඉදිරියට යාමේ කැමැත්ත සහ ආත්ම පරිත්‍යගය ද මහලු වයසෙහි දී ඈති වන පළ පුරුද්ද, මුහුකුරා ගිය නුවණ සහ කලබල නොවී ගැටළුවක් දෙස බැලීමේ ඇති ශක්තියද මෙ භේදය නිසා අද බොහෝදුරට අපතේ යමින් පවතියි.

මෙය මනුෂ්‍ය වර්ගයාට දැරිය නොහැකි පාඩුවකි. එහෙයින් මෙහි විසදුමක් කෙසේ හෝ ඇතිවීම අවශ්‍යය. තරුණ පරම්පරාව සහ මහලු පරම්පරාව අතර භේදය පවතින්නේ ශාරිරික තත්වයේ පරතරය නිසා නොව සිතුම් පැතුම් අතින්,අදහස් අතින්,නිගමන අතින්,එම දෙපකෂය අතර පවත්නා පරතරය නිසාය. වෙන වචන වලින් කිවොත් දෙපකෂයේ දෘෂ්ටි නිසාය, තරුණයාගේ දෘෂ්ටිය මහල්ලාටත් මහල්ලාගේ දෘෂ්ටිය තරුණයාටත් නොගැළපෙන නිසාය.

මෙම හානිකර භේදය නැති කිරීමට සමර්ත වන්නේ තරුණයාවත් මහල්ලාවත් නොව වයසෙන් මිදුණු තැනැත්තාය.

වයසෙන් මිදෙන්නේ කෙසේද ? එය කළ හැකි දෙයක් ද ?

ශරිරය පරණ වීම වැළැක්විය නොහැකියි.එහෙත් ඒ සමග සිත පරණ විම අවශ්‍ය නැත.

සිත පරණ වන්නෙ,වයසට යන්නේ,දෘෂ්ටිය නිසාය. එහෙයින් දෘෂ්ටි වලින් මිදුණු තැනැත්තා වයසෙන් මිදුණු කෙනෙක් වෙයි.ඒ මිදීම මනුෂ්‍ය ජීවිතයේ ලාබාල අවස්ථාව හැරුණු විට තරුණ,මධ්‍යම,වයසක යන ඕනෑම අවධිය දි සිදු විය හැකියි.කිසිම වයස සීමාවකට හිමි වූ දෘෂ්ටියකින් නොබැඳුණු ඔහු තරුණයා දෙසත් මහල්ලා දෙසත් බලන්නේ එක ලෙස විවෘත වුණ මනසකින්ය.

එහෙයින් ඒ සියලු දෙනාම ඇති සැටියේ තේරුම් ගැනීමට පුලුවන්කමක් ඔහුට ඇති වන්නේය. එම නිසා තරුණයාත් මහල්ලාත් ඔහුට එකසේ රුචි වනු ඇත.

වයසෙන් මිදුණු තැනැත්තා ජීවිතයේ අවස්ථා නාමයකින් හැඳින් විය නොහැකියි නමක් දිය යුතුම වේ නම් "සදාකාලික තරුණයා" යයි ඔහුට කිව හැකි වන්නේය. තරුණයාගේ අලුත් ගතියත් වැඩිමහල්ලාගේ මුහුකුරා ගිය දර්ශනයත් ඔහුට ඇත්තේය.උසස් වීමේ ආසාවක් ඔහුට නැත. ඔහු කලබලකාරි තරුණයාගේ ද නැති වී ගිය ධෛර්ය්‍ය ඇති වැඩිමහල්ලාගේ ද එක සමාන මිත්‍රයෙකි.එහෙයින් ඔහු තරුණ වයසක පරම්පරා දෙක සම්බන්ධ කරන ඒදණ්ඩක් වන්නේය.

නිරතුරුවම ලෝකය දෙස අලුතෙන් බැලීමට සමර්ථ,මොහතින් මොහත අලුත් වන සිතක් ඇති,වයසෙන් මිදුණු,ටික දෙනෙකුත් හෝ යම් රටක ඇති වුව හොත්, ප්‍රබල සංවිධානවලින් සිදු කළ නොහැකි තරම් සේවයක් එම රටට ඒ ටික දෙනාගෙන් සිදු වනු නිසැකය.