Thursday, October 29, 2009

තිලකරත්න මුල්ගුරුතුමාගේ ස්ථානෝචිතප‍්‍රඥාව


එක්දහස් නවසිය අසූඑක වර්ෂයේ වයඹ පළාතේ නාරම්මල , කොට්ටවත්ත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන ආචාර්ය වරයා ලෙස සේවය කළ තිලකරත්න මුල්ගුරුතුමා කෙළින් වැඩ කරන නීතිගරුක ගුරුවරයෙකි.

හෙතෙම මහා ශබ්ද නඟමින් මහ මඟ දිව යන යතුරු පැදිවලට දැක්වූයේ මහත්වූ බියකි.
මහා ශබ්ද නඟමින් අධික වේගයෙන් මහ මඟ ගමන් ගන්නා යතුරු පැදිවලට තම පාසල් දරුවන් යටවීම වළක්වා ගැනීම සඳහා හෙතෙම දැක්වූයේ මහත් පරිශ‍්‍රමයකි.

මේ අතර එම ප‍්‍රදේශයේ ජීවත් වූ තරුණ ගැටයකු වූ හමුදාවේ සිටි “ආමි කරුණා” ටේ‍්‍රල් වර්ගයේ යතුරු පැදියක හිමිකරුවා විය.


ඔහු මෙම පාසල අසලින් අධික වේගයෙන් මහා ශබ්ද නඟමින් එහාට මෙහාට යනවිට පාසලේ සිසුන් තම වැඩ නවත්වා එදෙස බලා සිටිනුයේ ඔහු යන වේගය ගැනවූ මහත් බියකිනි.

“ආමි කරුණාගේ යතුරු පැදිය දෙස ගම්මුද බලා සිටිනුයේ මහත්වූ බියකිනි.

දිනක් “ආමි කරුණාගේ’ මෙම යතුරු පැදිය අධික වේගයෙන් පාසල ඉදිරිපිට මහ පාරේ දකුණු දිශාවට ගමන් කළ අතර එය ආපසු නොගිය බැව් දත් තිලකරත්න මුල්ගුරුතුමා එය ආපසු ගියාදැයි අනෙක් ගුරුවරුන්ගෙන් විමසමින් දහවල් 1.30ට පාසල ඇරියමුත්


සිසුනට තම නිවෙස් කරා යා නොදී ඔවුන් පාසලේම රඳවා ගත්තේ දරුවන් පාරේ යනවිට එයට යටවී මහත් අනතුරක් සිදුවේය යන බියෙනි.


යතුරු පැදිය ආපසු නොගිය බැව් දැනගත් මුල්ගුරුතුමා සවස 4ට ආමි කරුණා ආපසු ගියපසු එතෙක් වේලා පාසලේ රඳවා සිටි ළමයින් පිටත් කර හැරියේය.

මේ වනවිට ළමයින්ගේ නොපැමිණීම නිසා කලබලයට හා විමතියට පත් මව්පියන්ද සෑහෙන පිරිසක් පාසල වෙත රොක්වී සිටියහ.

තිලකරත්න මුල්ගුරුතුමා මේ පිළිබඳ කරුණු කාරණා වටහා දීමෙන් පසු ඔවුන්ද ළමයින් සමඟ නිවෙස් බලා පිටත්වූයේ තිලකරත්න මුල්ගුරුතුමාගේ මෙම ස්ථානෝචිතප‍්‍රඥාව ගැන ප්‍රශංසා කරමිනි.