Wednesday, October 21, 2009

හා පුරා කියල තමන්ම පදවගෙන යන්න ඕන නිසා ලොරිකුත් අරගෙන


අඹගහගෙදර ඉන්න මහානාම මේ ලඟදි රියදුරු බලපත‍්‍රය අරගත්ත.

ඉතිං හා හා පුරා කියල තමන්ම පදවගෙන යන්න ඕන නිසා ලොරිකුත් අරගෙන අහල පහල යාළුවො ටිකකුත් දාගෙන උණවටුනේ යන්න පිටත් වුණා.

අලුතින්ම රියදුරු බලපත‍්‍රය ගත්ත නිසාම මහානාම බොහොම පරිස්සමෙන් තමයි ලොරිය එළවගෙන ගියේ.

මාර්ග නීති රීති අකුරටම පිළිපදින ගමන්ම පාරෙ යන අනිකුත් වාහනවල රියදුරන්ගෙ වැරදි ගැන යාළුවන්ට පෙන්වා දෙමින් බොහොම ආඩම්බරයෙන් තමයි වාහනේ පදවගෙන ගියේ.

ඔන්න ඉතිං කොහොම කොහොම හරි ගාලු පාරටත් ආව.

එහෙම ආපු මහානාම වාහනේ පදවගෙන යන ගමන් සයිඩ් කණ්නාඩියෙන් නිතරම පිටිපස්ස බලන්නත් සමහර වෙලාවට පාරෙ මැදින්ම, මාර්ගය අවහිර වන විදිහට වාහනය පදවන්නත් වුණා.


තවත් සමහර වෙලාවට මාර්ගයේ අයිනටම වෙලා සමහර වාහන වලට ඉස්සර කරල යන්නත් ඉඩ දුන්නා.

මහානාම මේ කරන වැඩේ අනිත් යාළුවන්ට ලොකු ප‍්‍රහේලිකාවක් වුණා. පාරෙ යන අනිත් වාහන වල රියදුරන්ගෙ හෝන් සද්දෙ ඉවසන් ඉන්න බැරිම තැන යාළුවො අහනව

“මොකද බං මහානාම උඹ සමහර වාහන වලට ඉස්සර කරන්න නොදී පාර බ්ලොක් කරන්නෙ?” කියල.

එතකොට හිනාවෙලා එහෙම මහානාම කියනව

“අනේ මේ කෑ නොගහ ඉඳපල්ල බං. උන් දන්න මාර්ග නීති. උන්ගෙ හිතේ ඇති මට ඉස්සර කරන්න.

එහෙමත් ඉස්සර කරන්න පුළුවන්ද?

අපිට ලර්නර්ස් එකේ උගන්නල තියෙන්නෙ දකුණෙ වාහන වලට විතරක් ඉස්සර කරන්න දෙන්න කියල විතරයි.

ඒ හින්දයි මම ඔය ගාල්ල – මාතර – කතරගම බස්වලට විතරක් ඉස්සර කරන්න දුන්නේ” කියල.