Thursday, November 5, 2009

අපේ ජපානයේ ඉන්න යාලුවන්ගේ නොනලා තමයි මේක පටන්ගෙන තියෙන්නේ


කොපිකැට් කියලා ගෘහණියන් ගේ සංගමයක් කියල එකක් හැදිලලු ළඟදි දවසක කුරුණෑගල අපේ ජපානයේ ඉන්න යාලුවන්ගේ නොනලා තමයි මේක පටන්ගෙන තියෙන්නේ අනේ කොච්චර හොඳ ද!


හැබැයි ඉතින් හොඳට බලන්ඩ ඕනැ ඔය කියන ගෘහණියො ඇත්තටම කුස්සියට අඩිය තියන කට්ටිය ද කියල. පොල්ලෙලි කෑල්ලකින් ලිපේ අළු ටික එහාට මෙහාට කරල පොල් කොළ තුන හතරක් හනසු කෑල්ලක් දාල ලිප පත්තු කරල අර දුම් වැදිල කළුපාට වෙච්චි කේතලේ ලිප උඩින් තියල වතුර ටිකක් රත්කරල තේ ටිකක් වක්කරල මනුස්සටයි දරුවන්ටයි දීල අල්ලට සීනි ඇට හත අටක් අරගෙන දිව අග්ගිස්සෙන් ඒව එක දෙක අරගෙන හප හපා කහට ටික බොන ගෘහණියක් ද? එහෙමත් නැත්නම් “වැඩට ඉන්න කෙල්ල” නැත්නම් කුස්සි අම්ම හදල දෙන බෙඩ් ටී එක බොන නෝන කෙනෙක් ද කියල.


කලින් කලට ඔහොම සංවිධාන බිහි වෙනව. ඒ නෝනලා පිට පෙනෙන හැට්ට ඇඳගෙන බඩ පෙනෙන්ඩ නාභියටත් පහළින් කලිසං කොට ඇඳගෙන ඇහි බැම ඇඳගෙන “කොණ්ඩේ” “තොල්” පාට කරගෙන ඔන්න යනව ගම්වලට කුස්සියෙ තියෙන අමාරුකම් කියන්ඩ.


මේයාලා අපේ ගමටත් ගොඩබැහල


“අනේ ඔයාලට හරි අමාරුයි නේද? දැන් පාන් හරි ගණං නේද? ඔයාල ඉස්සර පාන් රාත්තලක් ගෙනාව නං දැන් ගේන්නෙ බාගයයි නේද? ඔයාලට හරි පව් නේද? අපි කුස්සිය ගැන හිතනවනේ.


අනිත් එක ඔයාලා දන්නවද සොසේජස් දැන් හරි ගණං. කොකා කෝලා එකක් බොන්ඩත් කීයක් දෙන්ඩ ඕනැද මෙයාලා... පෙරේද කැරමල් පුඩිමක් හැදුව... අනේ බඩු හරි ගණං මෙයාලා. හස්බන්ඩ් ආසයි නේ කැරමල් පුඩිංස් වලට ඒකයි මෙයාලා.. හස්බන්ඩ් ට ෂුගර්... කොච්චර කිව්වත් අහන්නේ නෑනෙ... ස්වීට් මයි හොයන් නේ... මොනව කරන්ඩ ද මෙයාලා... ඒ ගොල්ලො කියන හැටියට අපි ඉන්ඩ එපා යැ... පුරුෂාධිපත්‍යයනේ... අනේ ඔයාල ඔයාල ගේ හස්බන්ඩ්ලට කැරමල් පුඩිං හදන්නේ නැද්ද මෙයාලා.
“අපෝ නෑ නෝනා... අපේ මනුස්සය කැමැති කුරහන් රොටී වලට”
“ඇයි ඔයාගෙ හස්බන්ඩත් ෂුගර් ද? ෂුගර් තියෙන අයට කුරහන් හොඳයිලු නේද මෙයාලා...”


“අනේ අපි ඕව දන්නෙ නෑ නෝනා. ඒ මනුස්සයට ඉහෙන් බහින ලෙඩක් නෑ...”


“එහෙනං එයාලා එක්සර්සයිස් කරනවා ඇති... උදේට වෝක් එකක් දානවද?”


“මං දන්නෙ නෑ නෝනා...”


“ඒ කියන්නෙ දාඩිය දාන්ඩ”


“ඒ මනුස්සය කුඹුරෙ වැඩනෙ... පාන්දර ගියාම උදේට කන්ඩ එන්නෙ දාඩිය පෙරාගෙන...”


“කොච්චර ෂෝක් ද මෙයාලා.. ඉතින් ඔයාලට හරි අමාරුයි නේද මේ දවස්වල.. පාන්


ගණන් නේ...?”


“අනේ නෑ නෝනා... දැන් මඤ්ඤොක්කා හරි ගණන්නේ.... කිලෝ එකක් රුපියල් තිහක් හතළිහක් වෙනවා. මඤ්ඤොක්කා ගහක් ගලව ගත්තාම අපිත් කාල විකුණගෙන හොඳ ගානක් ගන්ඩත් පුළුවන්...”


“ඇත්තද අනේ...


කොහොමද අනේ මඤ්ඤොක්කා කියලා ලියන්නේ....


මයියොක්කා කියලා ලිව්වොත් මදිද මෙයා ලා”


“නෝනා කවුද?”


“අපි කොපිකැට් කියලා ගෘහණියන් ගේ සංගමේ නේ. අපි කුස්සියේ යුද්ධය ගැන කියා


දෙන්ඩ ගමින් ගමට යනවා...”


“නෝනලගෙ ගෙදර කුස්සියේ යුද්ධයක් තියෙනවද?”


“ඒක තමයි මෙයා ලා. මට කුස්සි අම්මගෙන් අහගෙන එන්ඩ බැරි වුණා මෙයා යුද්ධයක් තියෙනවද කියලා...


ඔන්න ඕක තමයි ඔය සංවිධාන හදන ගෘහිණියන්ගේ හැටි.


අනේ කාලේ වනේ වාසේ කිව්වලු...