Thursday, December 31, 2009

මියගිය ආත්ම සුවපත් කිරීම


සුගති වශයෙන් හැඳින්වෙන ලෝකයන් අතර මේ මිනිස් ලෝකයද කාම ලෝකයකි. මිනිස් ලොව උපදින පුද්ගලයා සිය ඇස, කන, නාසය, දිව, ශරීරය හා සිත පිනවීමට උපන් දා සිට ම උත්සාහ කරයි. කටයුතු කරයි. ඒ කාම ලෝක ස්වභාවයයි. එසේ ඉන්ද්‍රිය සය පිනවීමට හැකි වන අයුරින් අංග සම්පූර්ණ උපතක් ලැබීම හා අවශ්‍ය සම්පත් ලැබීම පූර්ව භවයන්හි කරන ලද පුණ්‍ය කර්මයන් ගේ ආනිසංසයත්, මේ භවයේ දැනුම හා බුද්ධිය දියුණු කැර ගැනීමෙන් ඇති කරගන්නා යහපත් උත්සාහයක් නිසා සිදුවන්නකි. කොයි තරම් අංග සම්පූර්ණ උපතත් ලැබූවද ඔහුට අවශ්‍ය පරිසරය, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, හා ආර්ථික පහසුකම් නොලැබුණොත් ඔහුට දියුණුවීම අසීරුය. කොයි තරම් පහසුකම් තිබුණ ද ඔහු අංගවිකලයකු හෝ නූගතකු හෝ පාප මිත්‍ර සේවනයෙහි යෙදෙන්නකු හෝ වුවහොත් ඔහු පරිහානියට ම පත්වන්නකු බවට අනිවාර්යයෙන් ම කටයුතු යෙදේ.


මේ අතර බොහෝ දෙනා තමන්ට ලැබෙන පහසුකම් හා දැනුම ප්‍රයෝජනයට ගනිමින් යහපත් ලෞකික ජීවිතයක් ගත කරති. සාමාන්‍යයෙන් දන් පින් වල ද යෙදෙති. එහෙත් කුසල් වශයෙන් ධර්ම මාර්ගයේ ගමන් කොට ස්වකීය ‘සිත’ දියුණු කැර ගැනීමට කටයුතු කිරීම පසුවට කල් තබති. මහලු වූ විට පුළුවනැයි සිතා පමා වෙති. හදිසියේ හෙට මිය යතැයි නොසිතති. භාවනාවක නොයෙදෙති. කෙනෙකුගේ ඊළඟ භවය තීරණය කරනුයේ අවසන් චුති චිත්තයට ඉදිරිපත් වන පූර්ව කර්මයක් හේතු කොට ගෙන බව දැන සිටිය ද මේ පමාව නිසා සතර අපා ගත වන්නෝ බොහෝ ය. එය ද කාම ලෝකයේ ස්වභාවයකි. උත්සාහය හා වීර්යය මගින් සිය සසර ගමන යහපත් කැර ගැනීම හා කෙටි කැර ගැනීම නුවණින් ම කළ යුත්තකි.


වර්තමාන සමාජයේ බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ද කැමැත්තක් දක්වන්නේ ද අනුන්ගේ දොස් දැකීමටමය. කොයි තරම් යහපත් දේ කළත් එක අඩුපාඩුවක් දොසක් වේ නම් එයම තෙපළති. අතීතයේ මෑතක් වන තුරු ම කෙනකු මිය ගිය විට අවසන් කටයුතු කරන අවස්ථාවේ ආගමික වතාවත් වලින් පසු ඔහු ගේ හෝ ඇගේ ගුණ වර්ණනා කළහ.


එයින් සිදු වූයේ ඒ පුද්ගලයා ඒ වන විට ස්ථිර භවයක උපතක් නොලබා මනෝකායික ගන්ධබ්බ අවස්ථාවක හෝ එතැනට පැමිණිය හැකි, දැකිය හැකි හෝ දිව්‍යාත්මයක හෝ වෙනත් අමනුස්ස ආත්ම භවයක හෝ සිටියහොත් ඔහුගේ හෝ ඇගේ සිත ප්‍රසන්න වේ.


මෙසේ ගුණ ගායනා කරනවාට, තමන් ජීවත්ව සිටිය දී සිදු කළ පුණ්‍ය ක්‍රියා පිළිබඳ, කතා කරන විට ඒවා අහන්නට අමනුෂ්‍යයෝ කැමතිය. එවිට ඔවුන්ගේ සිත් පහන් වෙයි. පළි ගැනීමේ චේතනාවෙන් වෛරයෙන් සිටින අමනුෂ්‍යයන් හැර අනිකුත් බොහෝ අමනුෂ්‍යයෝ මිහිරි ස්වරවලට, මිහිරි වදන්වලට මිහිරි අර්ථයට සුවඳට මිනිසා කැමති සේම දෙවියෝ ද කැමති ය. සමහර යක්ෂයෝ ද කැමති ය.


දිනක් බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී ඒ අසල වෘක්ෂයකට අධිගෘහිතව විසූ යක්ෂණියක් ඒ ධර්මය ශ්‍රවණය කරමින් සිටියා ය. ඇය ඒ බණ ඇසුවේ සිය දරුවා නළවමිනි. දරුවා හඬන විට “හා හා පුතා අඬන්න එපා. අර බුදු හාමුදුරුවෝ බණ කියනවා. පුතා අඬන්න එපා” යැයි කී අවස්ථාවක් සංයුක්ත නිකායේ යක්ෂ සංයුක්තයේ සඳහන් වෙයි. සමහර අමනුෂ්‍යයෝ ද ධර්ම ශ්‍රවණයට හා මිහිරි වදන්වලට කැමති බව මෙයින් පැහැදිලි වෙයි.


ඔහුට හෝ ඇයට අමතකව තිබු ඔහු අතින් සිදු වූ කුසල කර්ම, පුණ්‍ය ක්‍රියා සිහියට නගා ගත හැකි වෙයි. තමන් කළ යහපත් ක්‍රියා එසේ සිහිපත් වූ සැනින් ස්වකීය ආත්ම භවය උසස් තත්ත්වයකට පත්වීමට ද බොහෝ ඉඩකඩ ඇත. අපේ පැරැන්නෝ එවැනි මනෝ විද්‍යාත්මක අවබෝධයකින් සමාජ චාරිත්‍ර වාරිත්‍ර ගොඩ නගා ගෙන තිබුණි. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා අවමංගල උත්සවවලදී


“ඔය බොරු පම්පෝරිවලින් වැඩක් නෑ. පිළිගැනීමේ කතාවයි ස්තුති කතාවයි තිබුණා ම ඇතැ”යි කියා ගුණානුස්මරණ - ගුණය සිහිපත් කරන කතාවලට අවස්ථාවක් නොදෙයි.


“ඔය මිනිහා ජීවත්ව ඉන්නකම්ම බිව්වා. අහවල් අහවල් දේ කළා” යි කියමින් ඔහු කළ යහපත් දේ සිහිපත් කිරීම වළකාලයි. ඒ අනුන්ගේ ගුණ කියනවාට අකැමැති අනුන්ගේ දොස් ම දකින කුහකයින්ගේ හැටියකි. කෙනකු අතින් වරදක් සිදුවුවද ඔහු අතින් සිදු වූ බොහෝ යහපත් දේ යටපත් කැර දැමීම අකුසලයකි. කුහක කමකි. මිය ගිය පුද්ගලයාට සිදු කරන අසාධාරණයකි.