Friday, January 1, 2010

තරහ වෙන්න එපා කෙල්ලේ දැන් අරයා එන වෙලාව.


තුන් මාසයේ පිංකමට නියමිත දිනය උදා විය. එය සතියේ දිනයකි. රාත්‍රී 7.30 – 8.30 අතර කාලය ධර්ම දේශනය සඳහා වෙන් විය. බණ ඇසීමට පැමිණෙන ලෙස අසල්වාසීනට ද ඇරියුම් කරන ලදි.
ඒ අනුව එදින සවස හය පසුවන විට යම් යම් පිරිකර රැගත් පිරිස් බණ ගෙදරට පැමිණියහ. පැමිණි සියලු දෙනාම ළමයි සහ කාන්තාවෝය. අවස්ථාවට උචිත පරිදි ඔවුනට සංග්‍රහ කරන ලදි.
මඳ වේලාවකින් පැමිණි අමුත්තෝ වරින්වර පිටවී යෑමට අවසර පැතූහ.
ඇයි අනේ බණ අහන්න ඉන්නෙ නැද්ද?’
’අනේ බෑ අක්කෙ. පොඩි එකාට සනීප මදි. නෑවිත් බැරි නිසා ගොඩවෙලා යන්න ආවෙ.’
’තරහ වෙන්න එපා කෙල්ලෙ. දැන් අරයා එන වෙලාව. දන්නවනේ අපේ මනුස්සයාගෙ හැටි.’
’මං මේ වැඩ ඇරිලා එන ගමන්, පොඩිඋන්ට මුකුත් රත්කරලා දෙන්නත් එපායැ.’
මෙලෙස නොයෙකුත් හේතු දැක්වූ අසල්වාසීහු බණ ඇසීමට නොසිට පිටවී ගියහ.
’බණ ගෙදරකට එනකොට අත පය වන වනා නොඑන එක හැබෑව. ආවානං බණ ටිකක් අහල යන එකනේ සිරිත. හරියට අපි මේ පිරිකර ගන්න බලං ඉන්නව වගේ හැමෝ ම මොනවා හරි දීල යනවා.’ ගෘහිණිය අමනාපයෙන් පැවසුවාය.
නියමිත වේලාවට හාමුදුරුවෝ බණට වැඩියහ. බණ ඇසීමට සිටියේ පවුලේ හත් අට දෙනකු පමණි. නිවසින් පිටත මිදුලේ පිරිමි දෙතුන් දෙනෙක් දේශපාලන කසුකුසුවක පැටලී සිටියහ.

’මහත්තයා මං මේ පන්සලට වැඩියේ ගිය සතියේ. මෙහෙ නැවතිලා අධ්‍යාපන කටයුතු කර ගන්නවා. නායක හාමුදුරුවන්ගේ කීම පිළිඅරන් ගමේ බණකට වැඩිය පළමුවතාව. මේ ගෙදර අය අවට උදවිය සමග වැඩි ඇසුරක් නෑ වගේ නේද?’ යළි පංසලට වඩින හාමුදුරුවෝ තුන් රෝද රථ රියදුරුගෙන් විමසූහ.

’එහෙම දෙයක් නෙමේ අපේ හාමුදුරුවනේ. ඔය කවුරුත් වාගෙ බණ ගෙදරට ආවා. ඒත් බණ අහන්න හිටියෙ නෑ තමයි. ඒකට හේතුව තමයි රූපවාහිනිය. ගෑනු උදවිය ටෙලි නාට්‍යවලට වහ වැටිලා. වැඩියෙන් බණ අහන්නෙ ගෑනු උදවියනේ. සවස හයට විතර බණ පටන්ගත්තා නම් උතුරන්න කට්ටිය ඉදීවි.’

’හරි හරි මට තේරුණා. ධර්ම දේශනාවකට මහ සෙනඟක් අවශ්‍ය නෑ. බණ අහන්න එක්කෙනෙකු හිටියත් අපට ඇති. බුදුහාමුදුරුවොත් මුල්ම දේශනාව කළේ පස්නමකටනේ. ඇරත් ඉතින් සිය දහසක් හිටියත් සිත වෙනතැනක නම් බණ අහලා පලක් නෑනේ.’

’එහෙමයි අපෙ හාමුදුරුවනේ. බණ ඉතින් දවස පුරාම ඇහෙනවානෙ. ටෙලි නාට්‍ය වෙලාවට ම බලන්න ඕනැනෙ. තව කල් යනකොට මේ වගේ තැන්වල බණ කියන වෙලාව වෙනස්වේවි නේද?’
හාමුදුරුවෝ සිනාසී රථයෙන් බැස පන්සල තුළට වැඩියහ.