Tuesday, December 29, 2009

මල්කඩුවාවේ සිංහ කඩේ ”SUGAR FREE”


මල්කඩුවාවේ සිංහ කඩේ මල්ලීට වෙච්ච වැඩක් මේක. සිල්ලර කඩ කිරීමත් යකෙක් බැඳගත්ත වගේ ම දෙයක්. අනිවාර්යයෙන් අරින්න ම ඕනෙ.


එක දවසක් හරි වැහුවොත් පාඩුයි. අනික ණයට බඩු ගත්ත මිනිස්සු කඩේ වහපු දවසක් බලලම තමයි ණය සල්ලි දෙන්න එන්නෙත් මොකද? ආපහු පහුවදාට කියන්න පුළුවන්නෙ ඊයෙ ණය සල්ලි දෙන්න ආවත් කඩේ වහල තිබුණ කියල.


ඉතිං ඔන්න සිංහ කඩෙන් බඩු ගන්න අයත් සමහර දවස්වල එහෙම වැඩ කරනව. හැබැයි නියමිත දවසට ණය මුදල් දුන් අයත් හිටිය.


ඔන්න දවසක හැන්දෑවෙ ලොකු බඩු ලිස්ට් එකක් ගත්ත ෂොක්මන්වත්තෙ මනුස්සයෙක් පැය බාගෙකට විතර පස්සෙ කඩාගෙන ඇවිත් මහ මරුමුස් බැල්මක් එහෙම දාල ඇස් දෙක ලොකු කරල සිංහ මල්ලීට කියනව,


”ඈ මල්ලි අපි දවසක් දෙකක් ණය සල්ලි පරක්කු කළාම තමයි ඔයාගෙ මූණ හොඳ නැති වෙන්නෙ... ඒ වුණාට අපිට බඩු ගන්න කොට නොමිලෙ දෙන දේවල් සේරම ඔයා යටිමඩි ගහගන්නව... ඒක හරිද?... කැත වැඩ කරන්න එපා මල්ලි...”


මේ මොන හෙණගෙඩියක් ද යකෝ... සිංහ මල්ලී බැලුව. කඩේ තවත් සෙනගත් ඉන්නව ලැජ්ජාවෙ බැහැ.


”දැන් මොකක් ද අයියෙ වෙලා තියෙන්නෙ” සිංහ මල්ලී ඇහුව.


”වෙලා තියෙන්නෙද? කෝ... මේ ජෑම් බෝතලෙත් එක්ක නිකන් දෙන සීනි පැකට් එක?” කඩේ ඉන්න අනික් සෙනග දිහා ආඩම්බරෙන් බලන ගමන් ම මිනිහ ඇහුව.


”යකෝ ජෑම් කොම්පැනිකාරයොත් මාව අමාරුවෙ දාන්න හදනවනෙ!” කියල තරහින් අර මනුස්සයගෙ අතේ තිබුණ ජෑම් බෝතලේ අරගෙන බලපුවම ඒකෙ ලොකුවට ලියල තියෙනව ”SUGAR FREE” කියල.