Thursday, December 31, 2009

මේ තරුණ වෛද්‍යවරිය තම ස්වාමි පුරුෂයාට දැඩි සේ ආදරය කළාය.


ඇය තරුණ කාන්තාවකි. විවාහක තරුණ වෛද්‍යවරියකි. ඇය අපට නොපෙනෙන ලෝකයක් ඇතැයි විශ්වාස කළේ නැත. ඒ තරමට ම භෞතිකවාදී වූවා ය. ඇයගේ කුළුදුල් දරු ප‍්‍රසූතියේ දී සිදුවූ විස්මිත සිද්ධියකින් ඇයට ලෝකයේ යථාර්ථය - සැබෑ තත්ත්වය හෙළි වී ඇත.


මේ තරුණ වෛද්‍යවරිය තම ස්වාමි පුරුෂයාට දැඩි සේ ආදරය කළා ය. ගැබ්බරව ඉදිරියට නෙරා ගිය උදරයක් සහිතව කුරුණෑගල රෝහලට ඇතුළු වූයේ ද ස්වාමි පුරුෂයා ගේ බඳ වටා අත යවා ගෙන ඔහු ගතෙහි දැවටෙමිනි, ඔහු ද ඇය වෛද්‍යවරියක් නිසා ඇයට ලැබී ඇති අවසරයෙන් ප්‍රයෝජන ගනිමින් දවසේ දැඩි කාලයක් ගත කළේ බිරිය ළඟ ම ය. ඇගේ රෝහල් ඇඳ අසලමය.


වරෙක හිස අත ගෑවේ ය. වරෙක දෙපා පිරිමැද්දේ ය. ඇය සිටි යහන කඩතිරවලින් ආවරණය කොට තිබුණු බැවින් ඇගේ නළල ද සිප ගත්තේ ය. ඇය ද ඔහුගේ දෑත් තරයේ ගෙන සිප ගත්තා ය. ඇය දැන් හැසිරෙන්නේ අවුරුදු දහසකට පමණ කාලයකට රටෙන් පිට වී යන්නට සූදානම් වූ පෙම්වතියකගේ ස්වභාවයෙනි. අනේ! ඇල්මක හැටි!


මේ තරුණ වෛද්‍යවරිය තම තාරුණ්‍ය පිළිබඳ ඇති ආශාවත්, ප්‍රසූති වේදනාව විඳීමට ඇති අකැමැත්ත හා කම්මැලිකමත් නිසා සිසේරියන් සැත්කමක් සඳහා සූදානමින් සිටියා ය. නියමිත වේලාවට ඇය සැත්කම සඳහා තිඹිරිගෙයට (වැදුම්වාට්ටුවට) ඇතුළු වූවාය. සැත්කම් කාමරයට ඇතුළු වන තුරුම ස්වාමියා ගේත් ඇගේත් අතැඟිලි පැටළී තිබිණි. සැත්කම ආරම්භයේ දී කළ නිර්වින්දන ප්‍රතිකාරත් සමඟ ඇයට නින්ද ගියාය.


ඔවුන් ජීවත් වූයේ රජයේ නිල නිවාසයකය. එහි කුස්සියේ ජනේලය යකඩ දැල්වලින් ආවරණය කොට තිබිණි. ඒ යකඩ දැල අතරින් රිංගා පිට වූවා ඇයට මතකය. පිට වූවා නොව එය විශ්වයට ඇදී යාමකි. කවුදෝ ඇයට අඩ ගසන හඬ ඇසිනි. “දැන් මේ ලෝකයෙන් ඉවත්ව යමු. මා සමඟ යමු” යි ඒ හඬ ඇය ඇමතූ බව ඇයට මතකය.


ඒ හඞට අවනත විය යුතු වීය. ඇගේ ස්වධිපත්‍යය යටපත් ව ඇත. තර්ක කළ නොහැකි ය. නොගිහින් සිටින්නට අවකාශයක් නැත. ඇයට මතක ඇත්තේ ආරම්භය පමණි.


කුස්සියේ කබඩ් එකක් මත සිටියා මතකය. එතැන සිට ජනේලයේ යකඩ දැල් කොටුවක් තුළින් පිටතට ඇදී ගියා මතක ය. දැන් ඇය පාලනය වන්නේ වෙනත් බලවේගයක් මඟිනි. කොහොමද යන්නේ? කොයිබට ද යන්නේ? මේ කිසිවක් නොදනී. ඇදී යන බව පමණක් දැනේ.


ඇය එක් තැනක නතර වූවා මතකය. “ඔතන නොවෙයි තැන. එහාට යමු” යළිත් නියෝගයක් කරනු දැනිණි. යළිත් ඉදිරියට ම ඇදී ගියා ය. ඉතා ම සුන්දර සහනදායි ස්ථානයක නතර වූවාය.


එය ළා තණ පිට්ටනියකි. ඈත සිතිජය කරා පෙනෙන විශාල පිට්ටනියකි. ඉතා ම සුවදායක ය. සුන්දරය. වායු සමීකරණය කළ කාමරයක ඇති සුවයක් දැනේ. ආපසු ඒමක් ගැන හිතෙන්නේ නැත. ප්‍රදේශය පුරා සහන් එළියක් පැතිරී ඇත. මීදුම් ගතියක් පෙනේ. හරියට ම සඳ එළිය වැටී ඇත්තා සේය.


මේ අතර ඇයට සිය ස්වාමි පුරුෂයා මතක් වූවා ය. බැඳීම - ඇල්ම - ආදරය ඒ හැඟීම තුළ ගැබ් වී තිබිණි. ඒ සමඟ ම ඇයට වෛද්‍යවරුන් ගේ කටහඬ ඇසිණි. රෝහල් ඇඳක් මත සිටින බව දැනුණි.


ඇයට සිදුවූයේ කුමක්ද? වතුර වීදුරුවකට දැමූ ඩිස්ප්‍රින් පෙත්තක් සේ තමන් (මම) නැති වී ගියා මතකය. ගිය හැටි හෝ ආපසු ආ හැටි මතක නැත. එහෙත් ඒ සුන්දර අවස්ථාව අමතක කරන්නට ඇයට තවමත් නොහැකිය. ඊට පෙරත් ඊට පසුත් ඇය දුටු සිහින ඇයට මතක නැත.


මේ සිද්ධියට දැනට අවුරුදු 16 ක් ගත වී ඇතත් එය එදා වගේ ම අදත් මතකයේ පැහැදිලිව ඇඳී පවතී. එසේ ම තමන්ට දරුවෙකු උපන් බව පවා ඇය මනෝමය කයෙන් ගිය මේ ගමනේ දී සිහිපත් වූයේ නැත. ඊට හේතුව ලෙස ඇය කියන්නේ තම ස්වාමියාට තිබූ දෑඩි ඇල්ම නිසා බවය.


එසේ නම් අද ඉඩකඩම් හා නිවාස පිළිබඳ ඇල්මෙන් සිටින උදවිය මිය ගිය විට උපදින්නේ කොහේ දැයි සිතා ගත හැකි ය. ඉඩකඩම් හා නිවාස පිළිබඳව තණ්හාවෙන් මිය යන අය සතර අපාගතව ඒ ආශාවෙන් ම දුක් විඳිති. සමහරු මළ පෙ‍්‍ර්තයන්ව ද සමහරු තිරිසන් සතුන් ලෙස ද ඒ නිවෙස්වල ම උපදිති.


සිතේ ශක්තිය ඉතා ප්‍රබලය. ක්ෂණයකින් ඉතා දුර ගමන් යා හැකි ය. “දූරංගමං ඒකචරං” කීවේ ඒ නිසා ය. එසේ ම යහපත්, අයහපත් සියල්ලට ම ප්‍රධාන වන්නේත් මූලික වන්නේත් සිතම ය. “මනෝපුබ්බංගමා ධම්මා” යි කීවේ ද ඒ නිසාය.


මේ සිතේ ගොඩ නැඟෙන සිතිවිලි නිසා කර්ම රැස් කෙරෙයි. කර්ම රැස් නොකරන තැන සමාධියයි. සැනසුමයි. ශාන්ත වූ සුවය යි. එහෙත් අපේ මිනිස්සු බොහෝ දෙනෙකු කටයුතු කරන්නේ ‘හිතක් පපුවක්’ නැති ගානටය. සිතක් ඇතැයි සිතන්නේ ම නැත. අප නිතර ම සිතන්නේ කය පිනවීම ගැනමය.


ඊළඟට අනුන් ගැනය. දූ දරුවන් ගැනය. එසේත් නැත්නම් අනුන් ගැනය. තරහ වෛර ඊර්ෂ්‍යාවෙනි, මේ සිත ගැන දිනකට එක මොහොතක්වත් සිතනවා නම් ලෝකය මේ තරම් දරුණු වන්නේ ද නැත. සිතට පුදුම ශක්තියක්, බලයක් හා හැකියාවක් ඇත.