Sunday, November 15, 2009

යතුරු පැදියට නැග එන අතරමගදීත් මම කල්පනා කළේ නංගී කී කලකිරීම ගැන.


නැන්දම්මා බලන්න ලොකු නංගීලාගේ ගෙදරට ගියේ සති දෙකකට පසුවයි. මම එනතුරු නැන්දම්මා හැමදාමත් බලාගෙන ඉන්නවා.


නංගී තේ එකක් හදාගෙන ආව.


“මොකද අයියෙ ඔයාගෙ මූණට වෙලා තියෙන්නෙ. මැළවිලා ගිහින්. ඔයා ඉන්නෙ හරි කලකිරීමකින් බව පේනව.”


“එහෙම දෙයක් නැහැ බං.”


“මොකද නැත්තෙ.”


“ඊයෙ රෑ අර අහංකාර නගරේ ටෙලිනට්‍යය බැලුවා මට මා ගැනම දුක හිතුණා.


“ඔයා දැන් කතා කරන්නෙත් කලකිරීමෙන්නෙ. ඔයා කවුද කියල අහන්න එපා. මිනිස්සු එදා වගේම අදත් ඔයාට ආදරෙයි. ඔයාගෙ යාලුවොත් මා එක්ක කිව්ව ඔයා හරියට වෙනස් වෙලා කියල. ඉස්සර අයිය නෙවෙයිලු.”


“උන්ට පිස්සු බං.”


“එහෙම කියන්න එපා. අයියෙ මිනිහෙකුගෙ මුහුණෙන් හුඟක් දේවල් කියන්න පුළුවන්. ඉස්සර ඔයාගෙ මුහුණෙ හැම තිස්සෙම හිනාවක් තියෙනව. ඔයා දැන් හරි නිශ්ශබ්දයි. ඉස්සර ඔයා මොන තරම් දේවල් කතා කළාද. දැන් මෙහෙ ආවත් අහන දේකට උත්තර දෙනව විතරයි.” අනවශ්‍ය දේවල් ගැන කල්පනා කරන්න එපා. ඉස්සර වගේ පොතක් පතක් කියවගෙන ඉන්න. ඔයා දැන් පොත් කියවන්නෙත් නැහැනෙ.”


මට නංගී එක්ක කේන්ති ගියා. මගේ මුහුණේ හිතේ තියෙන තරුණකම නැහැ තමයි කියල මට සමහර අවස්ථාවලදි තේරුම් ගියා. මුහුණ වයසට ගිහිල්ලා. යම් යම් සිදුවීම් වලින් ඒක මම තේරුම් ගත්ත. නැන්දම්මාට වැඳ නංගිලාගේ ගෙදරින් එළියට බැස්සෙත් කලකිරීමෙන්.


යතුරු පැදියට නැග එන අතරමගදීත් මම කල්පනා කළේ නංගී කී කලකිරීම ගැන.


ගෙදර පැමිණි විටත් මම හිටියෙ මේ හැම දෙයක් ගැනම කල්පනා කරමින්.


මංජුල මල්ලීගේ යතුරු පැදිය පාරෙ නතර වුණා.


“මොකද කල්පනාව.”


“මම අර අහංකාර නගරේ ටෙලිනට්‍යය බැලුවා මචං. මට මා ගැනම දුක හිතුණා. ඒකෙ හැම දේකටම මම ආසයි.


“ඕව ගැන හිතන්න එපා අයියෙ. මොනවද අලුත් ආරංචි.”


මංජුල මල්ලී මගෙ පිටට තට්ටු කරමින් කිව්ව.

“ආරංචි නැහැ බන්. අද උදේ සම්පත් කියල එක්කෙනෙක්. කතා කළා ආදරය ගැන ලියන්න පුළුවන් ද කියල ඇහුව.”


“ඉතින් ලියන්නකො.”


“ආදරය ගැන මං මොන කතා ලියන්නද බං. උන් ලියන්න කියන්නේ ගැහැනියක් සහ මිනිහෙක් අතර තියෙන ආදරය ගැනනෙ. එහෙම නැතිව පුළුල් ආදරයක් ගැන නෙවෙයිනෙ. කෙල්ලො හත්අට දෙනෙකුට ආදරය කරපු මිනහකු නම් හොඳයි. මගේ ආදරය තියෙන්නෙ හිතේ කියල උඹ දන්නවනෙ. මම ආදරය කරල තියෙන්නෙ මගෙ අම්මිට විතරයි.”


මංජුලගෙ ඇස්වල කඳුළු පිරිල.


අහංකාර නගරයේ තේමා ගීතය මෙතනින් බාගන්න


http://www.mediafire.com/?nijmqnmzyd3

Saturday, November 14, 2009

බෑනා මාමණ්ඩිය ගේ ආගමනයට විරුද්ධ නො වූයේ ය.


පියා වියපත් ය. එහෙත් වයසට වඩා වියපත් ගතියක් ඔහු ගෙන් පළ වෙයි.
හේ ටික කලක් ලොකු පුතු ගේ නිවෙසේ විසුවේ ය.


ලේලිය ගෙන් ඇනුම් පද පිටවෙයි. කෙණෙහිලි සිදු කැරෙයි. ඔහු දෙවන පුතු ගේ නිවෙසට ගියේ ද එහෙයිනි.


එහි දු වෙනසක් නොවී ය.


සිදුවන අවැඩ පුතුනට කීමෙන් ඔවුන් ගේ පවුල් දිවිය අවුල් වෙයි.


දියණිය ගේ නිවෙසට යන්නට ඔහු හිතුවේ එබැවිනි.


බෑනා මාමණ්ඩිය ගේ ආගමනයට විරුද්ධ නො වූයේ ය.


බෑනා එසේ වුව ද දියණිය (පියා ගේ) එසේ නො වූවා ය. ඈ ඔහු වැඩෙහි යෙදෙව්වා ය. මේ නිසා යම් පමණ දුරින් පිහිටි වෙළෙඳ සලට දිනකට කිහිප වතාවක් යෑමට සහ ඊමටත්, දරු පැටවකු බලා කියා ගන්නටත් ඔහුට පැවරිණ. ඊට අමතර ව නාන කාමරය පිරිසිදු කිරීම ද ඔහු ගේ සේවාවක් විය.


විය පත් පියා වෙහෙස නො බලා මේ සියල්ල කළේ ය. එහෙත් ඔහුට කුසගිනි දැනුණු මොහොතේ කුස පුරවා ගැනීමට නම් නො හැකි විය. බෑනා මේ කෙරෙහි අවබෝධයෙන් පසු වූයේ ය.


මේ ඇහුණ ද? ඔයා ගෙ තාත්ත එන්ඩ එන්ඩ ම දුර්වල වෙනව. ඇඳට වැටුණොත් අපිට ම යි කරදරේ. දැන් ම තියා වැඩිහිටි නිවාසෙකට යැව්වොත් නරක ද?


එයාව ගිහින් දාල කොහොම ද?


එතකොට කවුද ගෙදර වැඩ ටික කරන්නෙ? ඇරත් තාත්ත තාම අබලන් නෑනෙ.

එහෙම වුණොත් බැරියැ ගිහින් දාන්ඩ


අපූරුයි තාත්ත ගැන හිතන විදිහ!


එහෙම නං කන බත්පතට ඒ මනුස්සයව ඔච්චර මරවන්න එපා!


ඔයා නං ඒ මනුස්සයගෙ පෙර හතුරෙක් වෙන්ඩ ඇති.


පෝයකට සිල් ගන්ඩ පන්සලකටවත් යවනව ද?


අඩු තරමෙ බඩගිනි වෙලාවට ඒ මනුස්සයට කෑම ටිකවත් බෙදල දෙන්නෑනෙ
මගෙ පූරුවෙ පවකට තමයි එයා තාත්ත වුණේ. එයා කරපුව අපිට මතකයි නේ.


එයා ගෙදර ආවෙ ඉඳ හිට. එදාටත් ආවෙ හොඳට ම බීල.


වේල් ගණන් අපි බඩගින්නෙ හිටිය.


පොතක් පැන්සලක් නැතුව ඉස්කෝලෙ යන්න විදිහක් තිබුණෙ නෑ.


ඇඳගන්ඩ ඇඳුමක් නෑ. ඉවසගෙන ඉඳල බැරි ම තැන අම්ම රට ගිහිං අනුංගෙ කුස්සිවල වැඩ කරල තමයි අපිව ගොඩ ගත්තෙ.


අතීතෙ මතක තියන එක හුඟක් හොඳයි. දෙමවුපියන් ගෙ වැරදි කොච්චර තිබුණත් පළිගන්න එක නං පාපයක්.


ඒ අය තමයි අපි මේ ලෝකෙට බිහි කෙරුවෙ.


ඒක අමතක කරන්ඩ එපා!


ඒ විතරක් නෙමේ, අහළ - පහළ උදවිය ඔයාගෙ අතීතෙ දන්නෙ නෑ.


ඒත් ඔයා තාත්තට සලකන විදිහ දන්නව.


ඔය මනුස්සය නැති වුණු දවසක පෙට්ටිය බදාගෙන විලාප තියන්ඩ නං හිතාගෙන ඉන්ඩ එපා!

හැබැයි එදාට මං නරක මිනිහයි කියන්ඩත් එපා!


දෙබස අවසානයේ බිරිය කුස්සිය පැත්තට ගියේ වේගයෙනි.


තාත්තෙ? කෝ මේ තාත්ත?’

ඇයි ළමයො?’

මේ කැරට් අල පොඩි වැඩියි. මේව ආපහු කඩේට ගිහිං දෙන්ඩ!

Thursday, November 5, 2009

අපේ ජපානයේ ඉන්න යාලුවන්ගේ නොනලා තමයි මේක පටන්ගෙන තියෙන්නේ


කොපිකැට් කියලා ගෘහණියන් ගේ සංගමයක් කියල එකක් හැදිලලු ළඟදි දවසක කුරුණෑගල අපේ ජපානයේ ඉන්න යාලුවන්ගේ නොනලා තමයි මේක පටන්ගෙන තියෙන්නේ අනේ කොච්චර හොඳ ද!


හැබැයි ඉතින් හොඳට බලන්ඩ ඕනැ ඔය කියන ගෘහණියො ඇත්තටම කුස්සියට අඩිය තියන කට්ටිය ද කියල. පොල්ලෙලි කෑල්ලකින් ලිපේ අළු ටික එහාට මෙහාට කරල පොල් කොළ තුන හතරක් හනසු කෑල්ලක් දාල ලිප පත්තු කරල අර දුම් වැදිල කළුපාට වෙච්චි කේතලේ ලිප උඩින් තියල වතුර ටිකක් රත්කරල තේ ටිකක් වක්කරල මනුස්සටයි දරුවන්ටයි දීල අල්ලට සීනි ඇට හත අටක් අරගෙන දිව අග්ගිස්සෙන් ඒව එක දෙක අරගෙන හප හපා කහට ටික බොන ගෘහණියක් ද? එහෙමත් නැත්නම් “වැඩට ඉන්න කෙල්ල” නැත්නම් කුස්සි අම්ම හදල දෙන බෙඩ් ටී එක බොන නෝන කෙනෙක් ද කියල.


කලින් කලට ඔහොම සංවිධාන බිහි වෙනව. ඒ නෝනලා පිට පෙනෙන හැට්ට ඇඳගෙන බඩ පෙනෙන්ඩ නාභියටත් පහළින් කලිසං කොට ඇඳගෙන ඇහි බැම ඇඳගෙන “කොණ්ඩේ” “තොල්” පාට කරගෙන ඔන්න යනව ගම්වලට කුස්සියෙ තියෙන අමාරුකම් කියන්ඩ.


මේයාලා අපේ ගමටත් ගොඩබැහල


“අනේ ඔයාලට හරි අමාරුයි නේද? දැන් පාන් හරි ගණං නේද? ඔයාල ඉස්සර පාන් රාත්තලක් ගෙනාව නං දැන් ගේන්නෙ බාගයයි නේද? ඔයාලට හරි පව් නේද? අපි කුස්සිය ගැන හිතනවනේ.


අනිත් එක ඔයාලා දන්නවද සොසේජස් දැන් හරි ගණං. කොකා කෝලා එකක් බොන්ඩත් කීයක් දෙන්ඩ ඕනැද මෙයාලා... පෙරේද කැරමල් පුඩිමක් හැදුව... අනේ බඩු හරි ගණං මෙයාලා. හස්බන්ඩ් ආසයි නේ කැරමල් පුඩිංස් වලට ඒකයි මෙයාලා.. හස්බන්ඩ් ට ෂුගර්... කොච්චර කිව්වත් අහන්නේ නෑනෙ... ස්වීට් මයි හොයන් නේ... මොනව කරන්ඩ ද මෙයාලා... ඒ ගොල්ලො කියන හැටියට අපි ඉන්ඩ එපා යැ... පුරුෂාධිපත්‍යයනේ... අනේ ඔයාල ඔයාල ගේ හස්බන්ඩ්ලට කැරමල් පුඩිං හදන්නේ නැද්ද මෙයාලා.
“අපෝ නෑ නෝනා... අපේ මනුස්සය කැමැති කුරහන් රොටී වලට”
“ඇයි ඔයාගෙ හස්බන්ඩත් ෂුගර් ද? ෂුගර් තියෙන අයට කුරහන් හොඳයිලු නේද මෙයාලා...”


“අනේ අපි ඕව දන්නෙ නෑ නෝනා. ඒ මනුස්සයට ඉහෙන් බහින ලෙඩක් නෑ...”


“එහෙනං එයාලා එක්සර්සයිස් කරනවා ඇති... උදේට වෝක් එකක් දානවද?”


“මං දන්නෙ නෑ නෝනා...”


“ඒ කියන්නෙ දාඩිය දාන්ඩ”


“ඒ මනුස්සය කුඹුරෙ වැඩනෙ... පාන්දර ගියාම උදේට කන්ඩ එන්නෙ දාඩිය පෙරාගෙන...”


“කොච්චර ෂෝක් ද මෙයාලා.. ඉතින් ඔයාලට හරි අමාරුයි නේද මේ දවස්වල.. පාන්


ගණන් නේ...?”


“අනේ නෑ නෝනා... දැන් මඤ්ඤොක්කා හරි ගණන්නේ.... කිලෝ එකක් රුපියල් තිහක් හතළිහක් වෙනවා. මඤ්ඤොක්කා ගහක් ගලව ගත්තාම අපිත් කාල විකුණගෙන හොඳ ගානක් ගන්ඩත් පුළුවන්...”


“ඇත්තද අනේ...


කොහොමද අනේ මඤ්ඤොක්කා කියලා ලියන්නේ....


මයියොක්කා කියලා ලිව්වොත් මදිද මෙයා ලා”


“නෝනා කවුද?”


“අපි කොපිකැට් කියලා ගෘහණියන් ගේ සංගමේ නේ. අපි කුස්සියේ යුද්ධය ගැන කියා


දෙන්ඩ ගමින් ගමට යනවා...”


“නෝනලගෙ ගෙදර කුස්සියේ යුද්ධයක් තියෙනවද?”


“ඒක තමයි මෙයා ලා. මට කුස්සි අම්මගෙන් අහගෙන එන්ඩ බැරි වුණා මෙයා යුද්ධයක් තියෙනවද කියලා...


ඔන්න ඕක තමයි ඔය සංවිධාන හදන ගෘහිණියන්ගේ හැටි.


අනේ කාලේ වනේ වාසේ කිව්වලු...