Thursday, October 29, 2009

තිලකරත්න මුල්ගුරුතුමාගේ ස්ථානෝචිතප‍්‍රඥාව


එක්දහස් නවසිය අසූඑක වර්ෂයේ වයඹ පළාතේ නාරම්මල , කොට්ටවත්ත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන ආචාර්ය වරයා ලෙස සේවය කළ තිලකරත්න මුල්ගුරුතුමා කෙළින් වැඩ කරන නීතිගරුක ගුරුවරයෙකි.

හෙතෙම මහා ශබ්ද නඟමින් මහ මඟ දිව යන යතුරු පැදිවලට දැක්වූයේ මහත්වූ බියකි.
මහා ශබ්ද නඟමින් අධික වේගයෙන් මහ මඟ ගමන් ගන්නා යතුරු පැදිවලට තම පාසල් දරුවන් යටවීම වළක්වා ගැනීම සඳහා හෙතෙම දැක්වූයේ මහත් පරිශ‍්‍රමයකි.

මේ අතර එම ප‍්‍රදේශයේ ජීවත් වූ තරුණ ගැටයකු වූ හමුදාවේ සිටි “ආමි කරුණා” ටේ‍්‍රල් වර්ගයේ යතුරු පැදියක හිමිකරුවා විය.


ඔහු මෙම පාසල අසලින් අධික වේගයෙන් මහා ශබ්ද නඟමින් එහාට මෙහාට යනවිට පාසලේ සිසුන් තම වැඩ නවත්වා එදෙස බලා සිටිනුයේ ඔහු යන වේගය ගැනවූ මහත් බියකිනි.

“ආමි කරුණාගේ යතුරු පැදිය දෙස ගම්මුද බලා සිටිනුයේ මහත්වූ බියකිනි.

දිනක් “ආමි කරුණාගේ’ මෙම යතුරු පැදිය අධික වේගයෙන් පාසල ඉදිරිපිට මහ පාරේ දකුණු දිශාවට ගමන් කළ අතර එය ආපසු නොගිය බැව් දත් තිලකරත්න මුල්ගුරුතුමා එය ආපසු ගියාදැයි අනෙක් ගුරුවරුන්ගෙන් විමසමින් දහවල් 1.30ට පාසල ඇරියමුත්


සිසුනට තම නිවෙස් කරා යා නොදී ඔවුන් පාසලේම රඳවා ගත්තේ දරුවන් පාරේ යනවිට එයට යටවී මහත් අනතුරක් සිදුවේය යන බියෙනි.


යතුරු පැදිය ආපසු නොගිය බැව් දැනගත් මුල්ගුරුතුමා සවස 4ට ආමි කරුණා ආපසු ගියපසු එතෙක් වේලා පාසලේ රඳවා සිටි ළමයින් පිටත් කර හැරියේය.

මේ වනවිට ළමයින්ගේ නොපැමිණීම නිසා කලබලයට හා විමතියට පත් මව්පියන්ද සෑහෙන පිරිසක් පාසල වෙත රොක්වී සිටියහ.

තිලකරත්න මුල්ගුරුතුමා මේ පිළිබඳ කරුණු කාරණා වටහා දීමෙන් පසු ඔවුන්ද ළමයින් සමඟ නිවෙස් බලා පිටත්වූයේ තිලකරත්න මුල්ගුරුතුමාගේ මෙම ස්ථානෝචිතප‍්‍රඥාව ගැන ප්‍රශංසා කරමිනි.

Wednesday, October 21, 2009

හා පුරා කියල තමන්ම පදවගෙන යන්න ඕන නිසා ලොරිකුත් අරගෙන


අඹගහගෙදර ඉන්න මහානාම මේ ලඟදි රියදුරු බලපත‍්‍රය අරගත්ත.

ඉතිං හා හා පුරා කියල තමන්ම පදවගෙන යන්න ඕන නිසා ලොරිකුත් අරගෙන අහල පහල යාළුවො ටිකකුත් දාගෙන උණවටුනේ යන්න පිටත් වුණා.

අලුතින්ම රියදුරු බලපත‍්‍රය ගත්ත නිසාම මහානාම බොහොම පරිස්සමෙන් තමයි ලොරිය එළවගෙන ගියේ.

මාර්ග නීති රීති අකුරටම පිළිපදින ගමන්ම පාරෙ යන අනිකුත් වාහනවල රියදුරන්ගෙ වැරදි ගැන යාළුවන්ට පෙන්වා දෙමින් බොහොම ආඩම්බරයෙන් තමයි වාහනේ පදවගෙන ගියේ.

ඔන්න ඉතිං කොහොම කොහොම හරි ගාලු පාරටත් ආව.

එහෙම ආපු මහානාම වාහනේ පදවගෙන යන ගමන් සයිඩ් කණ්නාඩියෙන් නිතරම පිටිපස්ස බලන්නත් සමහර වෙලාවට පාරෙ මැදින්ම, මාර්ගය අවහිර වන විදිහට වාහනය පදවන්නත් වුණා.


තවත් සමහර වෙලාවට මාර්ගයේ අයිනටම වෙලා සමහර වාහන වලට ඉස්සර කරල යන්නත් ඉඩ දුන්නා.

මහානාම මේ කරන වැඩේ අනිත් යාළුවන්ට ලොකු ප‍්‍රහේලිකාවක් වුණා. පාරෙ යන අනිත් වාහන වල රියදුරන්ගෙ හෝන් සද්දෙ ඉවසන් ඉන්න බැරිම තැන යාළුවො අහනව

“මොකද බං මහානාම උඹ සමහර වාහන වලට ඉස්සර කරන්න නොදී පාර බ්ලොක් කරන්නෙ?” කියල.

එතකොට හිනාවෙලා එහෙම මහානාම කියනව

“අනේ මේ කෑ නොගහ ඉඳපල්ල බං. උන් දන්න මාර්ග නීති. උන්ගෙ හිතේ ඇති මට ඉස්සර කරන්න.

එහෙමත් ඉස්සර කරන්න පුළුවන්ද?

අපිට ලර්නර්ස් එකේ උගන්නල තියෙන්නෙ දකුණෙ වාහන වලට විතරක් ඉස්සර කරන්න දෙන්න කියල විතරයි.

ඒ හින්දයි මම ඔය ගාල්ල – මාතර – කතරගම බස්වලට විතරක් ඉස්සර කරන්න දුන්නේ” කියල.

Tuesday, October 20, 2009

"අනේ, තරහ වෙන්න එපා. එදා තාත්තගේ මළ ගෙදර එන්න බැරි වුණා


අපේ යාලුවෙකුගෙ තාත්තා මළා. මැදිරිගිරිය පැත්තේ.


ඉතින් වසන්ත කියන එයාගෙ යලුවකුට යන්න බැරි වුණා. එකක් දුර නිසා. අනික එයාට


එදා වැඩක් තිබුණා.

මරණෙන් පස්සෙ ඉතින් මියගිය අයගෙ (පුතා) අපේ යාලුවා වැඩට ආවා.


ඉතින් මළ ගෙදර යන්න නොලැබුණ වසන්ත ගිහින් මෙන්න මෙහෙම පාපොච්චාරණයක් කළා.

"අනේ, තරහ වෙන්න එපා. එදා තාත්තගේ මළ ගෙදර එන්න බැරි වුණා වැඩක් නිසා.

ඊළඟ එකට ෂුවර් එකටම එනවා"

යාලුවට තද වුණා. ඊළඟ මරණෙ කාගෙද?


කොහොම වුණත් වසන්තට කියන්න අවශ්‍යව තිබුණේ තුන් මාසේ දානෙට එනව කියලා.


ඒ යකාට ඒක කියා ගන්න බැරි වුණා.
යාලුවට තද වුණ නිසා.

Saturday, October 17, 2009

ඕනෑම මහා යෝධයෙක් මේ වනයේදී පුංචි කුරුමිට්ටෙක් වගේ කි‍්‍රයා කරන්නේ

ඔහු කොළොම්තොටට කිට්ටු රයිගම් කෝරළයේ මිනිසෙකි. කුඩා දවස පටන් කුරුල්ලන්ට මෙන් ම වන සීපාවන්ට ද බෙහෙවින් පෙම් කළ හෙතෙම රැස්වෙහෙරට කිට්ටු ගල්ගමුවේ රැකියාවක් සඳහා ගියේ වනයට ඇති අසීමිත පේ‍්‍රමය නිසාය.

"මේ මහ වනය වෙලාවකට ශාන්ත මුනිවරයෙක් වගේ. දැඩි ශාන්ත බවකින් හා නිහැඩියාවකින් වෙළෙන මහ වනය තවත් මොහොතකින් මහා ශබ්ද පූජාවකට හැරෙනවා.
ඕනෑම මහා යෝධයෙක් මේ වනයේදී පුංචි කුරුමිට්ටෙක් වගේ කි‍්‍රයා කරන්නේ. ඒ වනයේ ඇති අති භයංකර බව හා තේරුම් ගත නොහැකි ආනන්දය නිසයි. දක්‍ෂ ලෙස වචන හසුරුවන මේ මිනියා ඇඟැලුම් කම්හලක ප‍්‍රධාන කළමනාකාරවරයෙකි.

ශාන්ත කුමාර ළමාහේවා ඔහුගේ නමය. ඔහු සේවය කරන ගල්ගමුව "සිල්ක් ලයින්" ඇඟැලුම් කම්හලේ සන්නාලියන් රැස්වෙහෙර හා ඒ අවට මුකලාන්බද ගම්වල වෙසෙන අයයි. ඒ මුකලාන්බද ගම්වල මිනිස්සු ද මේ මිනිසාට අසීමිතව ප්‍රෙර්ම කරති.

ගැමියන්ගේ දානයට මඟුලට ඉලව්ගෙදරට නොවරදවාම සහභාගී වන මේ මිනිසා ගහකොළට වන සතා සීපාවාට දක්වන ආදරය ඔවුනගේ ද සිත් පැහැරගන්නට හේතුවක් විය. පෙනුම සුද්දකු මෙන් වුව ඔහුගේ ගතිගුණ නම් ගැමියකුට බෙහෙවින් ම සමාන ය.
මීට වසර හත අටකට පෙර මහ නාන්නේරියේ සිටි කර්තේලිස් සමග ශාන්ත දැඩි ලෙස මිත්‍ර වී සිටියේය.
දැන් කර්තේලිස් නොහොත් (ටිකිරා) නාන්නේරියේ නැත. ඔහුගේ පවුල හා දරුවන් දෙදෙන දැන් ජීවත් වන්නේ රැස්වෙහෙර අවට මුකලාන් ගමකය.
මී කැඩීමට අති දක්‍ෂයකු වන ටිකිරා හමුවන්නට ඒ දිනවල ශාන්ත නිතර නාන්නේරියට එයි. මීට වසර පහකට පමණ පෙර මී කැඩීමට කැළයේ ඇවිද යද්දී ටිකිරා වලස් පහරකින් මරුමුවට පත් විය.

ඒ බුද්දම ගල්කුලක් මතදීය. ඔහු ජීවත්වන විට ශාන්තට කියු අරුම පුදුම කතාවක් හෙතෙම මට කීවේය.
"ටිකිරා මී කැඩීමට අති දක්‍ෂයි. අපිත් රයිගම් කෝරළයේ ඉඳලා ඇවිත් ඒ කාලෙ ඔහුගෙන් මී පැනි අරගෙන එහෙම යනවා. බුද්දම, රැස්වෙහෙර, ආනමඩුව, සියඹලාණ්ඩුව, කුකුල්කටුව ආදි පෙදෙස්වලට මිනිහා මී කඩන්න ගියා. මේ සිදුවීම වුණේ රැස්වෙහෙර ගන වනන්තරේදී.

"අලුතින් වැස්ස ඇවිත් ටික දවසක් යනකොට මල් පිපෙනවා. ඒ මල්වල පැණි අරගෙන මී මැස්සො වද බඳිනවා. ටිකිරා මේක සහසුද්දෙන්ම දන්නා කෙනෙක්. මිනිහා උදේ රැයින්ම පිටවෙලා ගියේ කවුරුත් බැද්දට රිංගන්න කලියෙන් මී ටිකක් කඩාගන්න.
ඒත්! බැද්දෙ ගාට ගාටා එනකොට මී බැඳපු ගහක් නොවේ හමුවුණේ. මහා පර්වත දෙකක්. මේ පැත්තෙ වැඩියෙන් ඉන්නේ විල් අලි නමින් හඳුන්වන දැවැන්ත වල් අලි. මේ පර්වත වගෙ පෙනුණේ මේ දැවැන්ත විල් අලි දෙන්නයි.

සාමාන්‍යයෙන් තුන් පත් රෑන නමින් හඳුන්වන අලි රෑනේ ඉන්නෙ කෙණෙර උගෙ ඉස්සෙල්ලා මුරේ පැටවා හා පස්සෙ මුරයේ පැටවා යන තිදෙනා පමණයි. ඒත් මෙතැන හිටියෙ දළ ඇතා යි ඇතින්නයි.
පැටවායි. පැටවා එහෙම පිටින් ම මඩ ගුලියක්. උගේ ඇස් පිහාටුවලත් මඩ. ඇස පෙනෙන්න පමණක් ඉඩ තබලා මහ දෙන්නා මේ පැටියගේ ඇගේ සම්පූර්ණ මඩ තවරලා. ඒ කැලෑවේ විස මදුරු ආදී සතුන්ගේ දෂ්ටනයෙන් බේරාගන්න.

ටිකිරා දුටු ගමන් මහ ඇතා හෙණ හඩින් කුංචනාදයක් දැම්මා. ටිකිරාගෙ දෙකකුල් 'සට සට' ගාලා ගැහෙන්න පටන් ගත්තා. ඒ කවදාවත් ටිකිරා ආපස්සට යන මිනිහෙකුත් නොවේ. මිනිහා නැංගා එතැන තිබුණු රූස්ස ගහකට.
පස් දූලි පයින් අඹරවමින් එතැන කලබගෑනියක් කළ මහ ඇතා කෙළින්ම ආවා ගහ පාමුලට. ඌට මේ ගහ හොලවන්නවත් බෑ. නළල තියලා වෙර වීරිය දාලා ගහ පෙරළන්න ඌ දෙතුන් විටක් උත්සාහ කළා.

ගහ තරමක් හෙළවුණ මිසක් මුලින් බුරුල්වන පාටක් පෙනුණේම නෑ. ටිකිරාගෙ හදවත ගැහෙන්න ගත්තා. ඔහු තවත් තදින් අල්ලා ගත්තා. ගහේ කඳ. දැන් පැටියයි. මවු ඇතින්නයි ඉව කැර කැර ගහ වටේ කරකැවෙනවා.

දළ ඇතා ආයෙත් ගහ හොල්ලනවා. ටික මොහොතක් ගතවුණා. ඇතා මවු ඇතින්න ගහයට මුරට දාලා ගියා ළඟ තිබුණු දියත්තකට. හොඬයෙන් ලීටර ගණනක් වතුර පුරවා ගත්තා. ගස් රිකිලි අතරින් දැන් මේ තනි දළ ඇතා එන ගමන ටිකිරට පෙනෙනවා.
ඒ වතුර දහරාව ගෙනැවිත් ඇතා විද්දා ගහේ මුලට. මේ විදියට ඌ නැවත නැවත යනවා. එනවා. වතුර විඳිනවා. ගහේ මුලක් ටිකින් ටික බුරුල්වන බව පෙනුණම ටිකිරට අම්මගෙන් බීපු කිරි රහත් මතක් වුණා.

තනියා අත් හරින්නෙ නෑ උගෙ උත්සාහය. කරන්න දෙයක් නෑ. "ඇතා ගහ ළඟින් ඉවත්වුණාම ගහින් බැහැලා දුවනවා" ටිකිරා කල්පනා කළේ එහෙමයි. එයාට එහෙම හිතුණෙ තවත් පුදුමාකාර අස්වාභාවික සිදුවීමක් නිසයි.
ඇතා වතුර ගෙනෙන්න කැළයට යන වාරයක් පාසාම මවු ඇතින්න පැටියත් සමඟ ගහ ළඟින් ඉවත්වෙලා ඈතට ගියත් ආයෙත් ඇතා ගහ ළඟට එනවිට එයත් ආවා. ටිකිරා මේ සිද්ධිය මුල සිටම දැක්කා. අනෙක එයා කුංචනාද කළේවත්, ගෙරෙව්වේවත්, කලබල කළේවත් නෑ.
මෙයා මට පැනලා යන්නවත් කියනවද? නැත්නම් ඇයි? ඇතා ගියාම ගහ ළඟින් ඉවත්වන්නෙ. ටිකිරට එහෙම හිතුණා. දැන් ගහත් හෙලවෙනවා වැඩියි. ගහ උඩ උන්නත් මරණය. ගසින් බැස්සත් මරණය. කරන්න දෙයක් නෑ. බහිනවා.

එහෙම හිතපු ටිකිරා ගහින් බැස්සා. ඇතින්න දුටුවත් ශබ්ද කළේවත් නෑ. ටිකිරා එක හැල්මේම දිව්වා ඈතටම. ගිහින් තවත් ගහකට නැඟ ගත්තා. කිව්වාට විශ්වාස කරන්න මහත්තයො, ඇතා තවත් නොබෝ වේලාවකින්ම ඒ ගස බිඳ දැම්මා.
ටිකිරා කිව්වෙ එහෙමයි. එයාට ඒ ගස බිඳ වැටෙන ශබ්දය ඇහිලා තියෙනවා. පුදුමය! මේ ඇතින්න සැබෑ මවු සෙනෙහසින් කි‍්‍රයා කරපු එකයි. ටිකිරා වලස් පහරින් බුද්දමදි මිය යන්නට පෙර මේ කතාව අපට කීවා.

එදා ඇතාගෙන් බේරුණත් පස්සෙ වලස් පහරින් මිය ගිය ටිකිරාගෙ වගෙ ජීවිත මේ පළාත්වල අනන්ත තියෙනවා. බැද්ද ඔවුනට මහ නිධානයක්. ඒ වගේම එහි බියකරු බවටත් ඔවුන් මුහුණ දෙනවා.

Friday, October 16, 2009

තමන්ගෙ කෙනෙක් මළාම දැනුම් දෙන එක හොඳයි


මේ කතාව තමන්ගෙ කෙනෙක්ගේ මරණයක් ගැන.


ඒක හරකෙක්. හන්දියේදී ලොරියක හැපිලා හරකා පාරේ.


ඒක බලාගෙන ඉඳපු චමින්ද පොලීසියට ගියා.


ගියත් පොලීසියේ හිටපු රිසර්ව් සාජන්ට මෙහෙම කිව්වා.

චමින්ද - සර් අර හන්දියෙ හරකෙක් මැරිලා.

රි.සා. – ඉතින් වළලනවකො.

චමින්ද - මං ආවේ පොලීසියට කියන්න.

රි.සා. – අයිසෙ හරකෙක් මළාම පොලීසියට කියන්නත් ඕනද. කට්ටිය එකතු වෙලා ඒකා වළලනවා.

ඒක අහගෙන ඉඳපු චමින්ද යන්න ගිහින් ආපහු හැරිලා බලාගෙන ඉන්නවා.

රි.සා. – අයිසේ මං දැන් දෙපාරක් කිව්වානේ. හරක වළලන්න කියල. පොලීසියට කියල වැඩක් නෑ.

චමින්ද- නෑ සර්. තමන්ගෙ කෙනෙක් මළාම දැනුම් දෙන එක හොඳයි නේ.


ඒකයි මම කියන්න ආවේ.

Saturday, October 10, 2009

අම්මයි - නංගියි එකතු වෙලා මඟුල් කිහිපයක්ම කතා කළා. ඒත් එකක්වත් සෙට් වුණේ නැහැ.


ගලගෙදර දෙහිදෙනි‍යේ සිරිලාල්ගෙ ඔළුවෙ කෙස් අඩුයි. හැබැයි මිනිහගෙ රක්ෂාව ගස් බිස්නස් එක. ඔළුවෙ කෙස් නැති තරහට වගේ කැලෑවෙ තියෙන ගස් ටිකත් කපල අඩු කරනවා. ගස් කපල ලී ඉරලා විකුණනවා. මිනිහට සරුයි. දැන් ඉතින් කසාදයක්‍ තමයි ප්‍රරශ්නේ.


අම්මයි - නංගියි එකතු වෙලා මඟුල් කිහිපයක්ම කතා කළා. ඒත් එකක්වත් සෙට් වුණේ නැහැ. අන්තිමට එක තැනක් හරි ගියා.


සිරිලාල් දැන් ඉතින් ඒ ගෑනු ළමයා බලන්න සතියකට වරක් යනවා.

ඒ අතරෙ ජංගමයට ටෙලිෆෝන් කරනවා.


එක පාරක් සිරිලාල් ටිකක් දුර පළාතක ගස් වගයක් ඉරන්න ගියා.


කෙල්ල බලන්න යන්නත් බැරි වුණා. ජංගමයට කෝල් එකක් දෙන්නත් බැරි වුණා.

මොකද දන්නවාද ජංගමයට සිග්නල් නෑ. ඔන්න ඉතින් සති දෙකකට පස්සෙ ගෙදර ඇවිත් අතින් කටින් ඩැහැගෙන තෑගි බෝග අරන් කෙල්ලගෙ ගෙදර ගියා.


සිරිලාල් දැක්ක ගමන් ගෑනු ළමයා අඬාගෙන ගෙට දිව්වා. අම්මා සිරිලාල්ගෙ ඇඟට කඩා පැන්නා.


"ඈ යකෝ උඹ වගේ කිසි ප්‍රතිචාරයක් නැති එකෙකුට මගේ දුව දෙයි කියල උඹ


හිතුවද? ආයි මේ පැත්ත පළාතේ ආවොත් අඬු කනවා." අම්මා කියපි.

සිරිලාල්ට හොල්මන්. මොකක්ද යකෝ මේ වුණේ කියලා.

"ඇයි ඇන්ටි මොකක්‍හරි ප්‍රරශ්නයක් ද?" පුදුම වෙච්ච සිරිලාල් ඇහැව්වා.

"ප්‍රරශ්නයක්! අනේ හැබෑට මූ අහන ලස්සන. පහුගිය සති දෙකේම මේ පැත්ත පළාතෙ


ආවෙ නැහැ. අපි කොච්චර ජංගමයට කෝල් කළාද? කතා කරන හැම පාරටම කවුදෝ


වරෙත්තු ගෑනියෙක් ලව්වා කිසි ප්‍රතිචාරයක් නැත කියල කියවන්න උඹට ලැජ්ජා නැද්ද


යකෝ? එහෙම කියපු අම්මා ගේ ඇතුළට ගියා.

සිරිලාල්ට දැන් තමයි තේරුණේ ජංගමයට සිග්නල් නැති පළාතක හිටපු එක.

Saturday, October 3, 2009

ස්ටාට් එක තමයි ඔයා දුන්නේ. පැය භාගයකට පස්සෙ “රායිට් ඕ.කේ.


මිනිසුන්ට වරදින කොට පෝලිමේ වරදිනවා. වැරදුන වග තේරෙන්නේ කවුරු හරි හිනා වුණාමයි.


කෙනෙකුට කැසට් පිස්සුවක් හැදිලා. ඒ පිස්සුව හැදුණේ රුපියල් දහදාහක් විතර හොයා ගත්තට පස්සෙයි.


ඔන්න ඉතින් ඒ සල්ලි ටිකත් අරගෙන මිනිහ ඉස්සෙල්ලාම ගියා Variety Cassette එකක් ගැන හොයන්න ඒ කියන්නේ ගායක ගායිකාවෝ කීප දෙනකුගෙ සින්දු එකතු කරල කැසට් එකක් කරන්න.


"හපෝ ලක්ෂයක්වත් යාවි" කැසට් පිළිබඳ විශේෂඥයෙක් කිව්වා. ඊළඟට ගියා One man cassette එකක් නිපදවන්න. ඒ කියන්නේ එක ගායකයකුගේ සිංදු එකතුවක්. ඒකටත් ඉල්ලුවා පනහක්.


ඊළඟට ගියේ විරිඳු කාරයෙක් ළඟට විරිඳු කැසට් එකක් කරන්න.


"මං අපේ කොම්පැනියට නම් කරන්නේ තිහකට. ඔයාට පනහකට කරන්නම්" විරිඳුකාරයා කිව්වා.


අතේ තියෙන්නේ දහදාහයි. රුපියල් දහදාහත් අරන් රට හැමතැනම ගියා. කිසිම වැඩක් උනේ නෑ.


අන්තිමේදී මිනිහට මුණගැහුන කැසට් ඔස්තාර් කෙනෙක්. මිනිහ සියලු උපදෙස් තිතට දුන්නා. මෙන්ම මෙහෙමයි.


ඔස්තාර් - ඔයා ගහන්න සමාධි භාවනා කැසට් එකක්.


යාලුවා - ‘භාවනා’. මරු කීයක් යාවිද?


ඔස්තාර් - අයියෝ වැඩිම වුණොත් පන්දාහයි.


යාලුවා - කොහොමද ඒක කරන්නේ?


ඔස්තාර් - මුලින්ම ඔයාගෙම වොයිස් එක කැසට් එකට එකතු කරනවා. වචන ටික මෙහෙමයි.


"Ready එකයි.. දෙකයි.. තුනයි"


එතැන ඉඳල ඔන්න කැසට් එක Play වෙනවා. හැබැයි silent කිසිම ශබ්දයක් නෑ.


මීයට පිම්බා වගේ. ඕනෑම කෙනෙකුට භාවනාව පටන්ගන්න ස්ටාට් එක තමයි ඔයා දුන්නේ.


පැය භාගයකට පස්සෙ “රායිට් ඕ.කේ. කියලා ඔයාගේ වොයිස් එක එනවා. භාවනාව ඉවරයි.


කොහොමද වැඩේ.


යාලුවා - නියමයි.